එදා ආයුෂ්මත් ආනන්දයන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් ආනන්දයන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ විමසුවා. පින්වත් ආනන්ද, වේදනාව යනු කුමක්ද? වේදනාවේ හටගැනීම යනු කුමක්ද? වේදනාව නිරුද්ධ වීම යනු කුමක්ද? වේදනාව නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව යනු කුමක්ද? වේදනාවේ ආශ්වාදය කුමක්ද? වේදනාවේ ආදීනවය කුමක්ද? වේදනාවේ නිස්සරණය කුමක්ද?
ස්වාමීනී, අපගේ ශ්‍රී සද්ධර්මය වනාහී භාග්‍යවතුන් වහන්සේ ම මුල් කොට ඇති සේක. භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන කොට ඇති සේක. භාග්‍යවතුන් වහන්සේ ම පිළිසරණ කොට ඇති සේක. ස්වාමීනී, සැබැවින් ම ඔය වදාළ කරුණෙහි අර්ථය භාග්‍යවතුන් වහන්සේට වැටහෙන සේක් නම් ඉතාම මැනැවි. භික්‍ෂූන් වහන්සේලා මතකයේ රඳවා ගන්නේ භාග්‍යවතුන් වහන්සේගෙන් අසාගෙනයි. එසේ වී නම් පින්වත් ආනන්ද, මනාකොට අසන්න. නුවණින් තේරුම් ගන්න. පවසන්නෙමි. එසේය ස්වාමීනී, කියලා ආයුෂ්මත් ආනන්දයන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
පින්වත් ආනන්ද, මේ වේදනා තුනක් තියෙනවා. සැප වේදනාව, දුක් වේදනාව හා දුක් සැප රහිත වේදනාවයි. පින්වත් ආනන්ද, වේදනාව කියන්නේ මෙයටයි. ස්පර්ශය හට ගැනීමෙනුයි වේදනාව හට ගන්නේ. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙනවා. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු වේදනාව නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාවයි. ඒ කියන්නේ: සම්මා දිට්ඨි ….(පෙ)…. සම්මා සමාධි. වේදනාව නිසා යම් සැපයක්, සොම්නසක් උපදිනවා නම්, මේක තමයි වේදනාවේ ආශ්වාදය. යම් වේදනාවක් අනිත්‍යයි ද, දුකයි ද, වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි ද, මේක වේදනාවේ ආදීනවයයි. වේදනාව කෙරෙහි ඇති ඡන්දරාගයේ යම් දුරු වීමක් ඇද්ද, ඡන්දරාගයේ ප්‍රහාණයක් ඇද්ද, මේක වේදනාවේ නිස්සරණයයි.
එනමුදු පින්වත් ආනන්ද, මා විසින් සංස්කාරයන්ගේ පිළිවෙළින් වන නිරෝධයක් ගැනත් පවසලා තියෙනවා. පළමුවෙනි ධ්‍යානයට සමවැදී සිටින කෙනාට වචනය නිරුද්ධ වෙලා තියෙන්නේ. ….(පෙ)…. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවැදී සිටින කෙනාට සඤ්ඤාත්, වේදනාත් නිරුද්ධ වෙලා තියෙන්නේ. ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්ෂුවට රාගය නිරුද්ධ වෙලා තියෙන්නේ. ද්වේෂය නිරුද්ධ වෙලා තියෙන්නේ. මෝහය නිරුද්ධ වෙලා තියෙන්නේ.
එනමුදු පින්වත් ආනන්ද, මා විසින් සංස්කාරයන්ගේ පිළිවෙළින් වන සංසිඳීමක් ගැනත් පවසලා තියෙනවා. පළමු වෙනි ධ්‍යානයට සමවැදී සිටින කෙනාට වචනය සංසිඳිලා තියෙන්නේ. ….(පෙ)…. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවැදී සිටින කෙනාට සඤ්ඤාත්, වේදනාත් සංසිඳිලා තියෙන්නේ. ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්ෂුවට රාගය සංසිඳිලා තියෙන්නේ. ද්වේෂය සංසිඳිලා තියෙන්නේ. මෝහය සංසිඳිලා තියෙන්නේ.
එනමුදු පින්වත් ආනන්ද, මා විසින් සංස්කාරයන්ගේ පිළිවෙළින් වන සංසිඳිලා යාමක් ගැනත් පවසලා තියෙනවා. පළමුවෙනි ධ්‍යානයට සමවැදී සිටින කෙනාට වචනය සංසිඳිලා තියෙන්නේ. ….(පෙ)…. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවැදී සිටින කෙනාට සඤ්ඤාත්, වේදනාත් සංසිඳිලා තියෙන්නේ. ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්ෂුවට රාගය සංසිඳිලා තියෙන්නේ. ද්වේෂය සංසිඳිලා තියෙන්නේ. මෝහය සංසිඳිලා තියෙන්නේ.
සාදු! සාදු!! සාදු!!!
දුතිය සන්තක සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_2-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M