සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

2.2.2. ආකාස සුත්තං

2.2.2. අහස ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. අහසේ නන්වැදෑරුම් සුළං හමනවා. පෙරදිගිනුත් සුළං හමනවා. බටහිරිනුත් සුළං හමනවා. උතුරු දිශාවෙනුත් සුළං හමනවා. දකුණු දිශාවෙනුත් සුළං හමනවා. දූවිලි සහිතවත් සුළං හමනවා. දූවිලි රහිතවත් සුළං හමනවා. සීතල සුළඟත් හමනවා. උණුසුම් සුළඟත් හමනවා. මද සුළඟත් හමනවා. අධික ලෙසත් සුළං හමනවා. පින්වත් මහණෙනි, ඔය වගේමයි මේ කයේ විවිධාකාර වේදනාවල් උපදිනවා. සැප වේදනාත් උපදිනවා. දුක් වේදනාත් උපදිනවා. දුක් සැප රහිත වේදනාත් උපදිනවා.

(ගාථාවන් ය)

1. අහසේ නන්වැදෑරුම් බොහෝ සුළං හමන්නේ යම් අයුරකින් ද, ඒ කියන්නේ පෙරදිගිනුත්, බටහිරිනුත්, උතුරිනුත්, දකුණෙනුත්, දූවිලි සහිතවත්, දූවිලි රහිතවත්, සීතටත් ඇතැම් විට උණුසුමටත්, බොහෝ කොටත් මද වශයෙනුත් බොහෝ සුළං හමනවා.

2. ඔය අයුරින් ම මේ කයෙහිත් වේදනාවන් උපදිනවා. සැප වේදනාත්, දුක් වේදනාත්, යම් උපේක්‍ෂා වේදනාවක් ඇද්ද එයත් උපදිනවා.

3. යම් කලෙක භික්ෂුව කෙලෙස් තවන වීරිය ඇතිව, මනා සිහි නුවණ අත් නො හැර ඉන්නවා නම්, ඒ තුළින් ඒ නුවණැති භික්ෂුව සෑම විඳීමක් ම පිරිසිඳ දැන ගන්නවා.

4. ඒ භික්ෂුව විඳීම පිරිසිඳ දැනගෙන මේ ජීවිතයේ දී ම ආශ්‍රව රහිත වෙනවා. දහම තුළ පිහිටි අවබෝධයෙහි මුදුන්පත් ඒ භික්ෂුව කය බිඳී මරණින් මතු පැණවීමකට එන්නේ නෑ.

සාදු! සාදු!! සාදු!!!

ආකාස සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_2-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M