සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

2.2.1. රහෝගත සුත්තං

2.2.1. අප්‍රකට තැනක බවුන් වැඩූ භික්ෂුවට වදාළ දෙසුම

එදා එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළා. ස්වාමීනී, මෙහි මං අප්‍රකට තැනක, හුදකලාවේ භාවනාවේ යෙදී සිටියදී මෙවැනි අදහසක් ඇති වුණා. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ වේදනා තුනක් ගැනයි. සැප විඳීම, දුක් විඳීම හා දුක් සැප රහිත විඳීමයි. මේ වේදනා තුන තමයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ. විඳින්නා වූ යම් කිසි දෙයක් ඇත්නම්, එය දුකක් කියලත් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද මේ කරුණ තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් විඳින්නා වූ යම් කිසි දෙයක් ඇත්නම්, එය දුකක් වශයෙන් වදාළේ කුමක් ගැනද?

සාදු! සාදු! පින්වත් භික්ෂුව, පින්වත් භික්ෂුව, මා විසින් ප්‍රකාශ කොට තිබෙන්නේ මේ වේදනා තුන තමයි. සැප විඳීම, දුක් විඳීම හා දුක් සැප රහිත විඳීමයි. මේ වේදනා තුන තමයි මා විසින් පවසන ලද්දේ. පින්වත් භික්ෂුව, විඳින්නා වූ යම්කිසි දෙයක් ඇත්නම්, එය දුකකි යි කියා මා විසින් පවසන ලද මේ කරුණ තියෙනවා. පින්වත් භික්ෂුව, විඳින්නා වූ යම්කිසි දෙයක් ඇත්නම්, එය දුකකි යි යන ඔය කාරණාව මා පැවසුවේ සංස්කාරයන්ගේ ම අනිත්‍ය ගැන පෙන්වා දීමටයි. පින්වත් භික්ෂුව, විඳින්නා වූ යම්කිසි දෙයක් ඇත්නම්, එය දුකකි යි යන ඔය කාරණාව මා පැවසුවේ සංස්කාරයන්ගේ ම ක්ෂය වී යන ස්වභාවය ගැන පෙන්වා දීමටයි. පින්වත් භික්ෂුව, විඳින්නා වූ යම්කිසි දෙයක් ඇත්නම් එය දුකකි යි යන ඔය කාරණාව මා පැවසුවේ සංස්කාරයන්ගේ ම වැනසී යන ස්වභාවය ගැන පෙන්වා දීමටයි. පින්වත් භික්ෂුව, විඳින්නා වූ යම්කිසි දෙයක් ඇත්නම්, එය දුකකි යි යන ඔය කාරණාව මා පැවසුවේ සංස්කාරයන්ගේ ම නොඇලිය යුතු ස්වභාවය ගැන පෙන්වා දීමටයි. පින්වත් භික්ෂුව, විඳින්නා වූ යම් කිසි දෙයක් ඇත්නම්, එය දුකකි යි යන ඔය කාරණාව මා පැවසුවේ සංස්කාරයන්ගේ ම ඇල්ම නිරුද්ධ කළ යුතු ස්වභාවය ගැන පෙන්වා දීමටයි. පින්වත් භික්ෂුව, විඳින්නා වූ යම්කිසි දෙයක් ඇත්නම්, එය දුකකි යි යන ඔය කාරණාව මා පැවසුවේ සංස්කාරයන්ගේ ම වෙනස් වන ස්වභාවය ගැන පෙන්වා දීමටයි.

එනමුදු පින්වත් භික්ෂුව, මා විසින් සංස්කාරයන්ගේ පිළිවෙළින් වන නිරෝධයක් ගැනත් පවසලා තියෙනවා. පළමු වෙනි ධ්‍යානයට සමවැදී සිටින කෙනාට වචනය නිරුද්ධ වෙලා තියෙන්නේ. දෙවෙනි ධ්‍යානයට සමවැදී සිටින කෙනාට විතක්ක විචාර නිරුද්ධ වෙලා තියෙන්නේ. තුන් වෙනි ධ්‍යානයට සමවැදී සිටින කෙනාට ප්‍රීතිය නිරුද්ධ වෙලා තියෙන්නේ. හතර වෙනි ධ්‍යානයට සමවැදී සිටින කෙනාට ආශ්වාස ප්‍රශ්වාස නිරුද්ධ වෙලා තියෙන්නේ. ආකාසානඤ්චායතනයට සමවැදී සිටින කෙනාට රූප සඤ්ඤා නිරුද්ධ වෙලා තියෙන්නේ. විඤ්ඤාණඤ්චායතනයට සමවැදී සිටින කෙනාට ආකාසානඤ්චායතන සඤ්ඤා නිරුද්ධ වෙලා තියෙන්නේ. ආකිඤ්චඤ්ඤායතනයට සමවැදී සිටින කෙනාට විඤ්ඤාණඤ්චායතන සඤ්ඤා නිරුද්ධ වෙලා තියෙන්නේ. නේවසඤ්ඤානාසඤ්ඤාතනයට සමවැදී සිටින කෙනාට ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤා නිරුද්ධ වෙලා තියෙන්නේ. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවැදී සිටින කෙනාට සඤ්ඤාත්, වේදනාත් නිරුද්ධ වෙලා තියෙන්නේ. ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්ෂුවට රාගය නිරුද්ධ වෙලා තියෙන්නේ. ද්වේෂය නිරුද්ධ වෙලා තියෙන්නේ. මෝහය නිරුද්ධ වෙලා තියෙන්නේ.

එනමුදු පින්වත් භික්ෂුව, මා විසින් සංස්කාරයන්ගේ පිළිවෙළින් වන සංසිඳීමක් ගැනත් පවසලා තියෙනවා. පළමු වෙනි ධ්‍යානයට සමවැදී සිටින කෙනාට වචනය සංසිඳිලා තියෙන්නේ. දෙවෙනි ධ්‍යානයට සමවැදී සිටින කෙනාට විතක්ක විචාර සංසිඳිලා තියෙන්නේ. තුන් වෙනි ධ්‍යානයට සමවැදී සිටින කෙනාට ප්‍රීතිය සංසිඳිලා තියෙන්නේ. හතර වෙනි ධ්‍යානයට සමවැදී සිටින කෙනාට ආශ්වාස ප්‍රශ්වාස සංසිඳිලා තියෙන්නේ. ආකාසානඤ්චායතනයට සමවැදී සිටින කෙනාට රූප සඤ්ඤා සංසිඳිලා තියෙන්නේ. විඤ්ඤාණඤ්චායතනයට සමවැදී සිටින කෙනාට ආකාසානඤ්චායතන සඤ්ඤා සංසිඳිලා තියෙන්නේ. ආකිඤ්චඤ්ඤායතනයට සමවැදී සිටින කෙනාට විඤ්ඤාණඤ්චායතන සඤ්ඤා සංසිඳිලා තියෙන්නේ. නේවසඤ්ඤානාසඤ්ඤාතනයට සමවැදී සිටින කෙනාට ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤා සංසිඳිලා තියෙන්නේ. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවැදී සිටින කෙනාට සඤ්ඤාත්, වේදනාත් සංසිඳිලා තියෙන්නේ. ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්ෂුවට රාගය සංසිඳිලා තියෙන්නේ. ද්වේෂය සංසිඳිලා තියෙන්නේ. මෝහය සංසිඳිලා තියෙන්නේ.

පින්වත් භික්ෂුව, මේ සංසිඳීම් හයක් තියෙනවා. පළමු වෙනි ධ්‍යානයට සමවැදී සිටින කෙනාට වචනය සංසිඳිලා තියෙන්නේ. දෙවෙනි ධ්‍යානයට සමවැදී සිටින කෙනාට විතක්ක විචාර සංසිඳිලා තියෙන්නේ. තුන් වෙනි ධ්‍යානයට සමවැදී සිටින කෙනාට ප්‍රීතිය සංසිඳිලා තියෙන්නේ. හතර වෙනි ධ්‍යානයට සමවැදී සිටින කෙනාට ආශ්වාස ප්‍රශ්වාස සංසිඳිලා තියෙන්නේ. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවැදී සිටින කෙනාට සඤ්ඤාත්, වේදනාත් සංසිඳිලා තියෙන්නේ. ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්ෂුවට රාගය සංසිඳිලා තියෙන්නේ. ද්වේෂය සංසිඳිලා තියෙන්නේ. මෝහය සංසිඳිලා තියෙන්නේ.

සාදු! සාදු!! සාදු!!!

රහෝගත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_2-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M