පින්වත් මහණෙනි, මේ වේදනා තුන හට ගන්නේ ස්පර්ශයෙනුයි. මුල් වී තිබෙන්නේත් ස්පර්ශයයි. මූලික කාරණයත් ස්පර්ශයයි. හේතු වී තිබෙන්නේත් ස්පර්ශයයි. කවර වේදනා තුනක් ද යත්, සැප විඳීම, දුක් විඳීම හා දුක් සැප රහිත විඳීමයි. පින්වත් මහණෙනි, සැප වේදනාව ඇති කරවන ස්පර්ශය හේතුවෙනුයි සැප විඳීම උපදින්නේ. සැප වේදනාව ඇති කරවන ස්පර්ශය හේතුවෙන් උපන්නා වූ යම් විඳිය යුතු සැප වේදනාවක් ඇත්නම් ඒ සැප වේදනාව ඇති කරවන ස්පර්ශයේ ම නිරුද්ධ වීමෙන් එය නිරුද්ධ වෙනවා. එය සංසිඳෙනවා.
පින්වත් මහණෙනි, දුක් වේදනාව ඇති කරවන ස්පර්ශය හේතුවෙනුයි දුක් විඳීම උපදින්නේ. දුක් වේදනාව ඇති කරවන ස්පර්ශය හේතුවෙන් උපන්නා වූ යම් විඳිය යුතු දුක් වේදනාවක් ඇත්නම් ඒ දුක් වේදනාව ඇති කරවන ස්පර්ශයේ ම නිරුද්ධ වීමෙන් එය නිරුද්ධ වෙනවා. එය සංසිඳෙනවා. පින්වත් මහණෙනි, දුක් සැප රහිත වේදනාව ඇති කරවන ස්පර්ශය හේතුවෙනුයි දුක් සැප රහිත විඳීම උපන්නේ. දුක් සැප රහිත වේදනාව ඇති කරවන ස්පර්ශය හේතුවෙන් උපන්නා වූ යම් විඳිය යුතු දුක් සැප රහිත වේදනාවක් ඇත්නම් ඒ දුක් සැප රහිත වේදනාව ඇති කරවන ස්පර්ශයේ ම නිරුද්ධ වීමෙන් එය නිරුද්ධ වෙනවා. එය සංසිඳෙනවා.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. දඬු දෙකක් එකට ගැටීමෙන්, එකතු වීමෙන් උණුසුම උපදිනවා. ගින්දර හට ගන්නවා. ඒ දඬු දෙක ම වෙන් වීමෙන්, ඈත් වීමෙන් ඒ තුළින් හට ගත් යම් උණුසුමක් තිබුණා නම්, එය නිරුද්ධ වෙනවා. එය සංසිඳෙනවා. පින්වත් මහණෙනි, ඔය විදියටමයි මේ වේදනා තුන ම ස්පර්ශයෙනුයි හට ගන්නේ. ස්පර්ශයයි මුල් වන්නේ. මූලික කාරණය වන්නේත් ස්පර්ශයයි. හේතු වන්නේත් ස්පර්ශයයි. ඒ ඒ දෙයින් හට ගත් ස්පර්ශය නිසා ඒ ඒ ස්පර්ශයෙන් වේදනාවන් උපදිනවා. ඒ ඒ දෙයින් හට ගත් ස්පර්ශයේ නිරුද්ධ වීමෙන් ඒ ඒ ස්පර්ශයෙන් උපන් වේදනාවන් නිරුද්ධ වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
ඵස්සමූලක සූත්‍රය නිමා විය.
පළමුවෙනි සගාථා වර්ගය යි.
එහි පිළිවෙළ උද්දානය යි.
සමාධි සුත්‍රය, සුඛ සූත්‍රය, පහාන සූත්‍රය, පාතාල සූත්‍රය, දට්ඨබ්බ සූත්‍රය, සල්ල සූත්‍රය, ගේලඤ්ඤ සූත්‍ර දෙක, අනිච්ච සූත්‍රය, ඵස්සමූලක සූත්‍රය යන මෙයින් මේ වර්ගය සමන්විතයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_2-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M