සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

2.1.5. දට්ඨබ්බ සුත්තං

2.1.5. ‘දැක්ක යුතුය’ යනුවෙන් වදාළ දෙසුම

පින්වත් මහණෙනි, මේ වේදනා තුනකි. මොනවද ඒ තුන? සැප විඳීම, දුක් විඳීම හා දුක් සැප රහිත විඳීමයි. පින්වත් මහණෙනි, සැප වේදනාව දුක් වශයෙන් දැක්ක යුතුයි. දුක් වේදනාව හුලක් වශයෙන් දැක්ක යුතුයි. දුක සැප රහිත වේදනාව අනිත්‍ය වශයෙන් දැක්ක යුතුයි.

පින්වත් මහණෙනි, යම් කලෙක භික්ෂුව විසින් සැප වේදනාව දුක් වශයෙන් දැක ගත්තා නම්, දුක් වේදනාව හුල් වශයෙන් දැක ගත්තා නම්, දුක් සැප රහිත වේදනාව අනිත්‍ය වශයෙන් දැක ගත්තා නම්, පින්වත් මහණෙනි, මේ භික්ෂුවට තමයි වේදනාවන් පිළිබඳ මනාකොට දැකපු කෙනා කියලා කියන්නේ. තණ්හාව සිඳ දැමූ කෙනා කියලා කියන්නේ. බන්ධනයන් ඉක්මවා ගිය කෙනා කියලා කියන්නේ. මානයන් මනාකොට අවබෝධ කරලා හැම දුක් අවසන් කළා කියලා කියන්නේ.

(ගාථාවන් ය)

1. යම් කෙනෙක් සැප වේදනාව දුක් වශයෙන් දැක්කා නම්, දුක් වේදනාව හුල් වශයෙන් දැක්කා නම්, දුක් සැප රහිත විඳීම අනිත්‍ය වශයෙන් දැක්කා නම්,

2. ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව නියම දේ දැකලා තියෙනවා. වේදනාවන් පිරිසිඳ දකිනවා. ඒ භික්ෂුව විඳීම පිරිසිඳ දැන ගෙන මේ ජීවිතයේදීම ආශ්‍රව රහිත වෙනවා. දහම තුළ පිහිටි අවබෝධයෙහි මුදුන් පත් ඒ භික්ෂුව කය බිඳී මරණින් මතු පැණවීමකට එන්නේ නෑ.

සාදු! සාදු!! සාදු!!!

දට්ඨබ්බ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_2-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M