සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

2.1.6. සල්ල සුත්තං

2.1.6. හුල ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘතග්ජනයා සැප විඳීමත් විඳිනවා. දුක් විඳීමත් විඳිනවා. දුක් සැප රහිත විඳීමත් විඳිනවා. පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා සැප විඳීමත් විඳිනවා. දුක් විඳීමත් විඳිනවා. දුක් සැප රහිත විඳීමත් විඳිනවා. පින්වත් මහණෙනි, මේ කාරණයේදී අශ්‍රැතවත් පෘතග්ජනයාගේත් ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාගේත් විශේෂත්වය මොකක්ද? අදහස මොකක්ද? වෙනස්කම මොකක්ද?

ස්වාමීනී, අපගේ ශ්‍රී සද්ධර්මය වනාහී භාග්‍යවතුන් වහන්සේ ම මුල් කොට ඇති සේක. භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන කොට ඇති සේක. භාග්‍යවතුන් වහන්සේ ම පිළිසරණ කොට ඇති සේක. ස්වාමීනි, සැබවින් ම ඔය වදාළ කරුණෙහි අර්ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහෙන සේක් නම් ඉතා මැනැවි. භික්ෂූන් වහන්සේලා මතකයේ රඳවා ගන්නේ භාග්‍යවතුන් වහන්සේගෙන් අසාගෙනයි. එසේ වී නම් පින්වත් මහණෙනි, මනාකොට අසන්න. නුවණින් තේරුම් ගන්න. පවසන්නෙමි. එසේය ස්වාමීනි, කියලා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘතග්ජනයා දුක් වේදනාවෙන් පහස ලැබූ විට සෝක කරනවා. ක්ලාන්ත වෙනවා. වැලපෙනවා. පපුවෙහි අත් ගසා ගන්නවා. සිහි කල්පනා නැති කර ගන්නවා. ඔහු කායිකවත්, මානසිකවත් වේදනා දෙකක් විඳිනවා. පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙකුට හුලකින් විදිනවා. ඒ සමීපයට ම දෙවෙනි හුලකිනුත් විදිනවා. එතකොට පින්වත් මහණෙනි, ඒ පුරුෂයා හුල් දෙකකින් ම යි වේදනා විඳින්නේ.

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘතග්ජනයාත් ඔය වගේමයි. දුක් වේදනාවෙන් පහස ලැබූ විට සෝක කරනවා. ක්ලාන්ත වෙනවා. වැලපෙනවා. පපුවෙහි අත් ගසා ගන්නවා. සිහි කල්පනා නැති කර ගන්නවා. ඔහු කායිකවත්, මානසිකවත් වේදනා දෙකක් විඳිනවා. ඔහු දුක් වේදනාවෙන් පහස ලැබූ විට ක්‍රෝධ සහිත වෙනවා. ඒ දුක් වේදනාවෙන් ඇති වූ ක්‍රෝධ ඇති ඔහු තුළ දුක් වේදනාවෙන් හට ගන්නා යම් පටිඝානුසයක් ඇත් නම්, එය සිත ඇතුළේ ඇති වෙනවා. ඔහු ඒ දුක් වේදනාවෙන් පහස ලබලා කාම සැපයයි සතුටින් පිළිගන්නේ. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘතග්ජනයා කම් සැප විඳීමෙන් බැහැරව දුක් වේදනාවෙන් නිදහස් වීමක් ගැන දන්නේ නෑ. කාම සැපය සතුටින් පිළිගනිද්දී සැප වේදනාවෙහි යම් රාගානුසයක් ඇත්නම්, එය ඔහුගේ සිත ඇතුළේ ඇති වෙනවා. ඔහු ඒ වේදනාවන්ගේ හටගැනීමවත්, නැතිවීමවත්, ආශ්වාදයවත්, ආදීනවයවත්, නිස්සරණයවත් ඒ ආකාරයෙන් ම අවබෝධ කරන්නේ නෑ.

ඒ වේදනාවන්ගේ හටගැනීමවත්, නැතිවීමවත්, ආශ්වාදයවත්, ආදීනවයවත්, නිස්සරණයවත් ඒ ආකාරයෙන් ම අවබෝධ නොකරන නිසා ඔහු තුළ දුක් සැප රහිත විඳීමෙන් යම් අවිද්‍යා අනුසයක් ඇති වෙනවා නම්, එයත් ඇති වෙනවා. එතකොට ඔහු සැප වේදනාවක් විඳිනවා නම් එය හා එකතු වෙලා ම යි විඳින්නේ. දුක් වේදනාවක් විඳිනවා නම් එය හා එකතු වෙලා ම යි විඳින්නේ. දුක් සැප රහිත වේදනාවක් විඳිනවා නම්, එය හා එකතු වෙලා ම යි විඳින්නේ. පින්වත් මහණෙනි, මේ අශ්‍රැතවත් පෘතග්ජනයාට කියන්නේ ඉපදීමත් සමඟ, ජරා මරණත් සමඟ, සෝක වැලපීම්, දුක් දොම්නස් සුසුම් හෙළීම් සමඟ එක්වෙලා ඉන්නවා කියලයි. දුකත් සමඟ එක්වෙලා ඉන්නවා කියලයි.

පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා දුක් වේදනාවෙන් පහස ලැබූ විට සෝක කරන්නේ නෑ. ක්ලාන්ත වෙන්නේ නෑ. වැලපෙන්නේ නෑ. පපුවෙහි අත් ගසා ගන්නේ නෑ. සිහි කල්පනා නැති කරගන්නේ නෑ. ඔහු එක කායික වේදනාවකුයි විඳින්නේ. මානසිකව විඳින්නේ නෑ.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙකුට හුලකින් විදිනවා. ඒ සමීපයට ම දෙවෙනි හුලකිනුත් විදින්නේ නෑ. එතකොට පින්වත් මහණෙනි, ඒ පුරුෂයා එක හුලකිනුයි වේදනා විඳින්නේ. පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාත් ඔය වගේමයි. දුක් වේදනාවෙන් පහස ලැබූ විට සෝක කරන්නේ නෑ. ක්ලාන්ත වෙන්නේ නෑ. වැලපෙන්නේ නෑ. පපුවෙහි අත් ගසා ගන්නේ නෑ. සිහි කල්පනා නැති කරගන්නේ නෑ. ඔහු එක කායික වේදනාවකුයි විඳින්නේ. මානසිකව විඳින්නේ නෑ. ඔහු දුක් වේදනාවෙන් පහස ලැබූ විට ක්‍රෝධ සහිත වෙන්නේ නෑ. ඒ දුක් වේදනාවෙන් වූ ක්‍රෝධ නැති ඔහු තුළ දුක් වේදනාවෙන් හටගන්නා යම් පටිඝානුසයක් ඇත් නම්, එය සිත ඇතුළේ ඇති වෙන්නේ නෑ. ඔහු ඒ දුක් වේදනාවෙන් පහස ලබලා කාම සැපය පිළිගන්නේ නෑ. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා කම් සැප විඳීමෙන් බැහැරව දුක් වේදනාවෙන් නිදහස් වීමක් ගැන දන්නවා.

කාම සැපය නො පිළිගනිද්දී සැප වේදනාවෙහි යම් රාගානුසයක් ඇත්නම්, එය ඔහුගේ සිත ඇතුළේ ඇති වෙන්නේ නෑ. ඔහු වේදනාවන්ගේ හටගැනීමත්, නැතිවීමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ ආකාරයෙන්ම අවබෝධ කරනවා.

ඒ වේදනාවන්ගේ හටගැනීමත්, නැතිවීමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ ආකාරයෙන් ම අවබෝධ කිරීම නිසා ඔහු තුළ දුක් සැප රහිත විඳීමෙන් යම් අවිද්‍යා අනුසයක් ඇති වෙනවා නම්, එයත් ඇති වෙන්නේ නෑ. එතකොට ඔහු සැප වේදනාවක් විඳිනවා නම් එය හා එකතු නොවී ම යි විඳින්නේ. දුක් වේදනාවක් විඳිනවා නම් එය හා එකතු නොවී ම යි විඳින්නේ. දුක් සැප රහිත වේදනාවක් විඳිනවා නම්, එය හා එකතු නොවී ම යි විඳින්නේ. පින්වත් මහණෙනි, මේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට කියන්නේ ඉපදීමත් සමඟ, ජරා මරණත් සමඟ, සෝක වැලපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම් සමඟ එක් නොවී ඉන්නවා කියලයි. දුකත් සමඟ එක් නොවී ඉන්නවා කියලයි. පින්වත් මහණෙනි, මේ කාරණයේදී අශ්‍රැතවත් පෘතග්ජනයාගේත් ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාගේත් විශේෂත්වය මෙයයි. අදහස මෙයයි. වෙනස්කම මෙයයි.

(ගාථාවන් ය)

1. දහම් දැනුමෙන් බහුශ්‍රැත වූ ප්‍රඥාවන්ත කෙනා, සැපක් වේවා දුකක් වේවා, ඒ වේදනාව හා එක්වෙලා විඳින්නේ නෑ. දක්ෂ වූ නුවණැත්තාගේත් පෘතග්ජනයාගේත් අතර ඇති මෙය මහා වෙනසකි.

2. මෙලොවත් පරලොවත් මනාකොට දකිද්දී යහපත් දෙය දහම් දැනුමෙන් බහුශ්‍රැත වූ අරහත් භික්ෂුවගේ සිත යට කරන්නේ නෑ. අයහපත් දෙයට ගැටීමක් ඇති වෙන්නෙත් නෑ.

3. ඔහු තුළ ඇලීමවත්, ගැටීමවත් නෑ. ඒවා නසලයි තියෙන්නේ. අභාවයට පත් වෙලයි තියෙන්නේ. ඒ නිසාම ඒවා නෑ. කෙලෙස් රහිත සෝක රහිත නිවන් පදය දැනගෙන භවයෙන් එතෙරට පැමිණි බවත් ඔහු මනාව දැනගන්නවා.

සාදු! සාදු!! සාදු!!!

සල්ල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_2-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M