පින්වත් මහණෙනි, මේ වේදනා තුනකි. මොනවද ඒ තුන? සැප විඳීම, දුක් විඳීම හා දුක් සැප රහිත විඳීමයි. පින්වත් මහණෙනි, සැප විඳීම කෙරෙහි ඇති රාග අනුසයයි (සිත අභ්‍යන්තරයේ පවත්නා රාගය) දුරු කළ යුත්තේ. ඒ වගේම දුක් විඳීම කෙරෙහි ඇති පටිඝ අනුසයයි (සිත අභ්‍යන්තරයේ පවත්නා ගැටීම) දුරු කළ යුත්තේ. දුක් සැප රහිත විඳීම කෙරෙහි ඇති අවිද්‍යා අනුසයයි (සිත අභ්‍යන්තරයේ පවත්නා මුළාව) දුරු කළ යුත්තේ.
පින්වත් මහණෙනි, යම් කලෙක භික්ෂුව තුළ සැප විඳීම කෙරෙහි ඇති රාගානුසය ප්‍රහීණ වෙලා ගියොත්, දුක් විඳීම කෙරෙහි ඇති පටිඝානුසය ප්‍රහීණ වෙලා ගියොත්, දුක් සැප රහිත විඳීම කෙරෙහි ඇති අවිජ්ජානුසය ප්‍රහීණ වෙලා ගියොත්, පින්වත් මහණෙනි, මේ භික්ෂුවට තමයි රාගානුසය ප්‍රහීණ කළ කෙනා කියලා කියන්නේ. තණ්හාව සිඳ දැමූ කෙනා කියලා කියන්නේ. බන්ධනයන් ඉක්මවා ගිය කෙනා කියලා කියන්නේ. මානයන් මනාකොට අවබෝධ කරලා හැම දුක් අවසන් කළා කියලා කියන්නේ.
(ගාථාවන් ය)
1. සැප විඳීම විඳින කෙනාට ඒ විඳීම ගැන අවබෝධයක් නැත්තම්, එයින් නිදහස් වීමක් නොදන්නා නිසා, ඒ රාගානුසය ඇති වෙනවා.
2. දුක් විඳීම විඳින කෙනාට ඒ විඳීම ගැන අවබෝධයක් නැත්තම්, එයින් නිදහස් වීමක් නොදන්නා නිසා, ඒ පටිඝානුසය ඇති වෙනවා.
3. මහා ප්‍රඥා ඇති බුදුරජාණන් වහන්සේ විසින් දුක් සැප රහිත විඳීම ශාන්ත හැටියට දේශනා කරල තියෙනවා. එය වුණත් සතුටින් පිළිගන්න කෙනාට දුකින් නම් මිදෙන්ට ලැබෙන්නේ නෑ.
4. යම් කලෙක භික්ෂුව කෙලෙස් තවන වීරිය ඇතිව, මනා සිහි නුවණ අත් නො හැර ඉන්නවා නම්, ඒ තුළින් ඒ නුවණැති භික්ෂුව සෑම විඳීමක් ම පිරිසිඳ දැන ගන්නවා.
5. ඒ භික්ෂුව විඳීම පිරිසිඳ දැනගෙන මේ ජීවිතයේදී ම ආශ්‍රව රහිත වෙනවා. දහම තුළ පිහිටි අවබෝධයෙහි මුදුන් පත් ඒ භික්ෂුව කය බිඳී මරණින් මතු පැණවීමකට එන්නේ නෑ.
සාදු! සාදු!! සාදු!!!
පහාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_2-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M