සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

10.1.9. කුතුහලසාලා සුත්තං

10.1.9. කුතුහල ශාලාවේදී වූ කථාව අරභයා වදාළ දෙසුම

එදා වච්ඡගොත්ත පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුණා. සතුටු විය යුතු පිළිසඳර කතාබහේ යෙදිලා එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩිවුණ වච්ඡගොත්ත පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. භවත් ගෞතමයන් වහන්ස, දවස් ගණනකට කලින්, බොහෝ දවස් ගණනකට කලින් නොයෙක් ආගම් වලට අයත් බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිවැජි ආදීන් කුතූහල ශාලාවේ රැස් වෙලා සිටිද්දී, ඔවුන් අතර මේ කථාව ඇති වුණා.

මේ පූරණ කස්සප පිරිස් සහිතව, සමූහයා සහිතව, පිරිසට ආචාර්ය වෙලා ඉතා ප්‍රසිද්ධව කීර්තිධරව, තමන්ගේ මතවාදය කියා ගෙන යනවා. බොහෝ ජනයා අතරත් හොඳයි කියලා සම්මතයි. ඔහුත් අතීතයට ගිය, කලුරිය කරපු ශ්‍රාවකයා ඉපදුනු තැන ගැන කියනවා. “අසවලා අසවල් තැන උපන්නා. අසවලා අසවල් තැන උපන්නා” කියලා. ඔහුගේ යම් ශ්‍රාවකයෙක් උතුම් පුරුෂයෙක් වෙලා, ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් වෙලා, උතුම් තත්වයකට පත් වුණා නම්, ඒ ශ්‍රාවකයාත් අතීතයට ගිය විට, කලුරිය කළ විට ඉපදුනු තැන කියනවා. “අසවලා අසවල් තැන උපන්නා. අසවලා අසවල් තැන උපන්නා” කියලා.

මේ මක්ඛලී ගෝසාලත් ….(පෙ)…. මේ නිගණ්ඨනාතපුත්තත් ….(පෙ)…. මේ සංජය බෙල්ලට්ඨිපුත්තත් ….(පෙ)…. මේ පකුධ කච්චායනත් ….(පෙ)…. මේ අජිත කේසකම්බලත් පිරිස් සහිතව, සමූහයා සහිතව, පිරිසට ආචාර්ය වෙලා ඉතා ප්‍රසිද්ධව කීර්තිධරව, තමන්ගේ මතවාදය කියා ගෙන යනවා. බොහෝ ජනයා අතරත් හොඳයි කියලා සම්මතයි. ඔහුත් අතීතයට ගිය, කලුරිය කරපු ශ්‍රාවකයා ඉපදුනු තැන ගැන කියනවා. “අසවලා අසවල් තැන උපන්නා. අසවලා අසවල් තැන උපන්නා” කියලා. ඔහුගේ යම් ශ්‍රාවකයෙක් උතුම් පුරුෂයෙක් වෙලා, ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් වෙලා උතුම් තත්වයකට පත් වුණා නම්, ඒ ශ්‍රාවකයාත් අතීතයට ගිය විට, කලුරිය කළ විට ඉපදුනු තැන කියනවා. “අසවලා අසවල් තැන උපන්නා. අසවලා අසවල් තැන උපන්නා” කියලා.

මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේත් පිරිස් සහිතව, සමූහයා සහිතව, පිරිසට ආචාර්ය වෙලා ඉතා ප්‍රසිද්ධව කීර්තිධරව, තමන්ගේ මතවාදය කියා ගෙන යනවා. බොහෝ ජනයා අතරත් හොඳයි කියලා සම්මතයි. උන්වහන්සේත් අතීතයට ගිය, කලුරිය කරපු ශ්‍රාවකයා ඉපදුනු තැන ගැන කියනවා. “අසවලා අසවල් තැන උපන්නා. අසවලා අසවල් තැන උපන්නා” කියලා. උන්වහන්සේගේ යම් ශ්‍රාවකයෙක් උතුම් පුරුෂයෙක් වෙලා, ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් වෙලා, උතුම් තත්වයකට පත් වුණා නම්, ඒ ශ්‍රාවකයාත් අතීතයට ගිය විට, කලුරිය කළ විට ඉපදුනු තැන ගැන කියන්නේ නෑ “අසවලා අසවල් තැන උපන්නා. අසවලා අසවල් තැන උපන්නා” කියලා. ඒ වුණාට ඔහු ගැන මෙහෙම කියනවා. ‘තණ්හාව සිඳ දැම්මා. සංයෝජන ඉක්මවා ගියා. මානය මනාකොට අවබෝධ කිරීමෙන් දුක අවසන් කළා’ කියලා එතකොට මට භවත් ගෞතමයන් වහන්ස, සැක ඇති වෙනවා ම යි. විචිකිච්ඡාව ඇති වෙනවා ම යි ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්නේ කොහොමද?’ කියල.

පින්වත් වච්ඡ, ඔබ විසින් සැක කරන්ට සුදුසු ම යි. විචිකිච්ඡා කරන්ට සුදුසු ම යි. සැක ඇති විය යුතු තැන ම යි ඔබට විචිකිච්ඡාව උපන්නේ. පින්වත් වච්ඡ, මං උපතක් පණවන්නේ උපාදාන සහිත කෙනාට විතරයි. උපාදාන රහිත කෙනාට නොවෙයි. පින්වත් වච්ඡ, ඒක මේ වගේ දෙයක්. ගින්නක් දැල්වෙන්නේ උපාදාන සහිතව ම යි. උපාදාන රහිතව නොවේ. ඔය විදිහට ම පින්වත් වච්ඡ, මං උපතක් පණවන්නේ උපාදාන සහිත කෙනාට විතරයි. උපාදාන රහිත කෙනාට නොවෙයි.

භවත් ගෞතමයන් වහන්ස, යම් අවස්ථාවකදී ගිනි දැල් සුළඟට වැදී දුරටත් යනවා. භවත් ගෞතමයන් වහන්සේ, මේ දෙය පණවන්නේ කවර උපාදානයක් තුළද? පින්වත් වච්ඡ, යම් අවස්ථාවකදී සුළඟේ මෙහෙය වීමෙන් ගිනිදැල් ඈතට යනවා නම්, මං එයට සුළඟ උපාදාන වී තියෙනවා කියලයි කියන්නේ. පින්වත් වච්ඡ, ඒ අවස්ථාවේදී එයට සුළඟයි උපාදාන වෙලා තියෙන්නේ.

භවත් ගෞතමයන් වහන්ස, යම් අවස්ථාවක මේ කයත් බැහැර කරනවා නම්, සත්වයා ද වෙන කයකට ඇවිල්ලත් නැත්නම්, භවත් ගෞතමයන් වහන්සේ මොහුට පණවන්නේ කවර උපාදානයක් තුළද? පින්වත් වච්ඡ, යම් අවස්ථාවක මේ කයත් බැහැර කරනවා නම්, සත්වයා ද වෙන කයකට ඇවිල්ලත් නැත්නම්, මං ඔහුට තණ්හාව උපාදාන වෙලා තියෙනවා කියලයි කියන්නේ. පින්වත් වච්ඡ, ඒ අවස්ථාවේදී ඔහුගේ උපාදානය වන්නේ තණ්හාවයි.

සාදු ! සාදු !! සාදු !!!

කුතුහලසාලා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_10-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M