සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

10.1.10. අත්ථත්ත සුත්තං

10.1.10. ආත්මයක් තිබෙනවාද යන්න ගැන වදාළ දෙසුම

එදා වච්ඡගොත්ත පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුණා. සතුටු විය යුතු පිළිසඳර කතාබහේ යෙදිලා එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩිවුණ වච්ඡගොත්ත පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. භවත් ගෞතමයන් වහන්ස, ඇත්තෙන් ම ආත්මය කියලා දෙයක් තියෙනවාද? මෙසේ ඇසූ විට භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩසිටියා. එහෙම නම් භවත් ගෞතමයන් වහන්ස, ආත්මය කියලා දෙයක් නැද්ද? දෙවන වතාවේදීත් භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩසිටියා. එතකොට වච්ඡගොත්ත පිරිවැජියා අසුනෙන් නැගිට පිටත් වුණා. වච්ඡගොත්ත පිරිවැජියා පිටත්ව ගිය නොබෝ වේලාවකින් ආයුෂ්මත් ආනන්දයන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වච්ඡගොත්ත පිරිවැජියාගේ ප්‍රශ්නය විසඳා නොවදාළේ මක් නිසාද?

පින්වත් ආනන්ද, මං වච්ඡගොත්ත පිරිවැජියාගේ ආත්මය කියලා දෙයක් තියෙනවාද? යන ප්‍රශ්නයට, ආත්මය කියලා දෙයක් ඇත කියලා පිළිතුරු දුන්නා නම්, පින්වත් ආනන්ද, යම් ඒ ශාස්වත දෘෂ්ටි ගත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඇද්ද, මෙය ඔවුන්ගේ මතය බවට පත් වෙනවා. පින්වත් ආනන්ද, මං වච්ඡගොත්ත පිරිවැජියාගේ ආත්මය කියලා දෙයක් නැද්ද? යන ප්‍රශ්නයට, ආත්මය කියලා දෙයක් නැත කියලා පිළිතුරු දුන්නා නම්, පින්වත් ආනන්ද, යම් ඒ උච්ඡේද දෘෂ්ටි ගත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඇද්ද, මෙය ඔවුන්ගේ මතය බවට පත් වෙනවා. පින්වත් ආනන්ද, මං වච්ඡගොත්ත පිරිවැජියාගේ ආත්මය කියලා දෙයක් තියෙනවාද? යන ප්‍රශ්නයට, ආත්මය කියලා දෙයක් ඇත කියලා පිළිතුරු දුන්නා නම්, පින්වත් ආනන්ද, සියලු ධර්මයන් අනාත්මයි යන අවබෝධ ඤාණය ඉපදීම පිණිස එය මට අනුකූල දෙයක් වෙනවාද? ස්වාමීනි, එය නොවේ ම යි. පින්වත් ආනන්ද, මං වච්ඡගොත්ත පිරිවැජියාගේ ආත්මය කියලා දෙයක් නැද්ද? යන ප්‍රශ්නයට, ආත්මය කියලා දෙයක් නැත කියලා පිළිතුරු දුන්නා නම්, පින්වත් ආනන්ද, මුළාවට පත් වෙලා ඉන්න වච්ඡගොත්ත පිරිවැජියා තවත් බරපතල මුළාවකටයි වැටෙන්නේ. අයියෝ..! මට කලින් ආත්මය තිබුණා. දැන් ඒක නැතෙයි කියලා.

සාදු ! සාදු !! සාදු !!!

අත්ථත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_10-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M