ඒ දිනවල ආයුෂ්මත් සභිය කච්චාන තෙරුන් වාසය කළේ ඤාතික ගමේ ගඩොලින් කළ ආවාසයකයි. එදා වච්ඡගොත්ත පිරිවැජියා ආයුෂ්මත් සභිය කච්චාන තෙරුන් වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් සභිය කච්චාන තෙරුන් සමඟ සතුටු වුණා. සතුටු විය යුතු පිළිසඳර කතාබහේ යෙදිලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩි වුණ වච්ඡගොත්ත පිරිවැජියා ආයුෂ්මත් සභිය කච්චාන තෙරුන්ගෙන් මෙකරුණ විමසුවා.
“භවත් කච්චාන, ඇත්තෙන්ම තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද?” “පින්වත් වච්ඡ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා ය යන කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්.” “භවත් කච්චාන, එහෙම නම් තථාගතයන් වහන්සේ මරණින් මතු නැද්ද?” “පින්වත් වච්ඡ, තථාගතයන් වහන්සේ මරණින් නැත ය යන කරුණත් භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්.” “භවත් කච්චාන, එහෙම නම් තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද? නැද්ද?” “පින්වත් වච්ඡ, තථාගතයන් වහන්සේ මරණින් ඇත, නැත යන කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්.” “භවත් කච්චාන, එහෙම නම් තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැද්ද? නැත්තේත් නැද්ද?” “පින්වත් වච්ඡ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැත, නැත්තේත් නැත යන කරුණත් භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්.”
“ඇයි භවත් කච්චාන, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද? කියලා ඇසූ විට පින්වත් වච්ඡ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා ය යන කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක් කියලා කිව්වේ? ඒ වගේම ඇයි භවත් කච්චාන, එහෙම නම් තථාගතයන් වහන්සේ මරණින් මතු නැද්ද? කියලා ඇසූ විට පින්වත් වච්ඡ, තථාගතයන් වහන්සේ මරණින් මතු නැත ය යන කරුණත් භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක් කියලා කිව්වේ? ඒ වගේම ඇයි භවත් කච්චාන, එහෙම නම් තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද? නැද්ද? කියලා ඇසූ විට පින්වත් වච්ඡ, තථාගතයන් වහන්සේ මරණින් ඇත, නැත යන කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක් කියලා කිව්වේ? ඒ වගේම ඇයි භවත් කච්චාන, එහෙම නම් තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැද්ද? නැත්තේත් නැද්ද? කියලා ඇසූ විට පින්වත් වච්ඡ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැත, නැත්තේත් නැත ය යන කරුණත් භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක් කියලා කිව්වේ? භවත් කච්චාන, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් එය නොවදාළ හේතුව මොකක්ද? ප්‍රත්‍යය මොකක්ද?
ආයුෂ්මත, රූප සහිතයි කියලා හෝ, රූප රහිතයි කියලා හෝ, සඤ්ඤා සහිතයි කියලා හෝ සඤ්ඤා රහිතයි කියලා හෝ, සඤ්ඤාව ඇත්තේත් නැතුව, නැත්තේත් නැතුව ඉන්නවා කියලා හෝ පැණවීමකට යම් හේතුවක් තියෙනවා නම්, යම් ප්‍රත්‍යයක් තියෙනවා නම්, ඒ හේතුවත් ඒ ප්‍රත්‍යයත් මුළුමණින් ම, සියල්ල ම සියලු තැන්හි ම, සියලු අයුරින් ම ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා නම්, එතකොට කවර දෙයක් මුල් කරගෙනද රූප සහිතයි කියලා හෝ රූප රහිතයි කියලා හෝ සඤ්ඤා සහිතයි කියලා හෝ සඤ්ඤා රහිතයි කියලා හෝ සඤ්ඤාව ඇත්තේත් නැතුව, නැත්තේත් නැතුව ඉන්නවා කියලා හෝ පැණවීමක් පණවන්නේ?
භවත් කච්චානයන් පැවිදි වෙලා කොච්චර කලක් වෙනවද? ආයුෂ්මත, එච්චර කලක් නෑ. අවුරුදු තුනයි. ආයුෂ්මතුනි, යම් කෙනෙකුගේ දේශනාව මෙච්චර කලකින් ම මෙවැනි වුණා නම්, එය ලොකු දේශනාවක් ම යි. ඔයිටත් වඩා සුන්දර වූ දේශනාවක් ගැන කවර කතාද?
සාදු ! සාදු !! සාදු !!!
සභිය සූත්‍රය නිමා විය.
පළමුවෙනි අබ්‍යාකත වර්ගය යි.
එහි පිළිවෙළ උද්දානය යි.
ඛේමා සූත්‍රය, අනුරාධ සූත්‍රය, උපගත සූත්‍රය, සමුදය සූත්‍රය, පේම සූත්‍රය, ආරාම සූත්‍රය, ආයතන සූත්‍රය, ඛන්ධ සූත්‍රය, කුතූහලසාලා සූත්‍රය, අත්ථත්ත සූත්‍රය, සභිය සූත්‍රය, යන දෙසුම් වලින් මේ වර්ගය සමන්විතයි.
අබ්‍යාකත සංයුත්තය නිමා විය.
සළායතන වර්ගයේ සංයුත්තයන්ගේ පිළිවෙළ උද්දානය යි.
සළායතන සංයුත්තය, වේදනා සංයුත්තය, මාතුගාම සංයුත්තය, ජම්බුඛාදක සංයුත්තය, සාමණ්ඩකානි සංයුත්තය, මොග්ගල්ලාන සංයුත්තය, චිත්ත සංයුත්තය, ගාමණී සංයුත්තය, අසංඛත සංයුත්තය, අබ්‍යාකත සංයුත්තය යන සංයුත්තයන්ගෙන් මෙම වර්ගය සමන්විතයි.
සළායතන වර්ගය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_10-1-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M