සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

10.1.7. ආයතන සුත්තං

10.1.7. ආයතන පිළිබඳ වදාළ දෙසුම

එදා වච්ඡගොත්ත පිරිවැජියා ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් සමඟ සතුටු වුණා. සතුටු විය යුතු පිළිසඳර කතාබහේ යෙදිලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ වච්ඡගොත්ත පිරිවැජියා ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන්ගෙන් මෙකරුණ විමසුවා. භවත් මොග්ගල්ලානයෙනි, ඇත්තෙන්ම ලෝකය සදාකාලික ද? පින්වත් වච්ඡ, ලෝකය සදාකාලික ද යන ඔය කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්. භවත් මොග්ගල්ලානයෙනි, එහෙමනම් ලෝකය සදාකාලික නැද්ද? පින්වත් වච්ඡ, ලෝකය සදාකාලික නැද්ද යන ඔය කාරණයත් භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්. භවත් මොග්ගල්ලානයෙනි, එහෙමනම් ලෝකය අන්තවත් ද? පින්වත් වච්ඡ, ලෝකය අන්තවත් ද යන ඔය කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්. භවත් මොග්ගල්ලානයෙනි, එහෙමනම් ලෝකය අනන්තවත් ද? පින්වත් වච්ඡ, ලෝකය අනන්තවත් ද යන ඔය කාරණයත් භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්.

භවත් මොග්ගල්ලානයෙනි, එහෙමනම් ජීවයත් ඒකම ද, ශරීරයත් ඒකම ද? පින්වත් වච්ඡ, ජීවයත් ඒකම ද, ශරීරයත් ඒකම ද? යන ඔය කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්. භවත් මොග්ගල්ලානයෙනි, එහෙමනම් ජීවය වෙන එකක් ද, ශරීරය වෙන එකක් ද? පින්වත් වච්ඡ, ජීවය වෙන එකක් ද, ශරීරය වෙන එකක් ද? යන ඔය කාරණයත් භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්. භවත් මොග්ගල්ලානයෙනි, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද? පින්වත් වච්ඡ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාය යන කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්. භවත් මොග්ගල්ලානයෙනි, එහෙමනම් තථාගතයන් වහන්සේ මරණින් මතු නැද්ද? පින්වත් වච්ඡ, තථාගතයන් වහන්සේ මරණින් මතු නැත යන කරුණත් භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්. භවත් මොග්ගල්ලානයෙනි, එහෙමනම් තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද? නැද්ද? පින්වත් වච්ඡ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත, නැත යන කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්. භවත් මොග්ගල්ලානයෙනි, එහෙමනම් තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැද්ද? නැත්තේත් නැද්ද? පින්වත් වච්ඡ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැත, නැත්තේත් නැත යන කරුණත් භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්.

භවත් මොග්ගල්ලානයෙනි, මේ අයුරින් විමසූ විට අන්‍යාගමික පිරිවැජියන් “ලෝකය ශාස්වතයි කියා හෝ, ලෝකය අශාස්වතයි කියා හෝ, ලෝකය අන්තවත්ය කියා හෝ, ලෝකය අනන්තවත්ය කියා හෝ, ජීවයත් එයයි ශරීරයත් එයයි කියා හෝ, ජීවය අනෙකක් ශරීරයත් අනෙකක් කියා හෝ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා කියා හෝ, තථාගතයන් වහන්සේ මරණින් මතු නැත කියා හෝ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත නැත කියා හෝ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැත නැත්තේත් නැත කියා හෝ” ඔය අයුරින් පිළිතුරු දෙන්නට හේතුව කුමක්ද? ප්‍රත්‍යය කුමක්ද?

ඒ වගේ ම භවත් මොග්ගල්ලානයෙනි, මේ අයුරින් විමසූ විට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ “ලෝකය ශාස්වතයි කියා ද, ලෝකය අශාස්වතයි කියා ද, ලෝකය අන්තවත්ය කියා ද, ලෝකය අනන්තවත්ය කියා ද, ජීවයත් එයයි ශරීරයත් එයයි කියා ද, ජීවය අනෙකක් ශරීරයත් අනෙකක් කියා ද, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා කියා ද, තථාගතයන් වහන්සේ මරණින් මතු නැත කියා ද, තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත නැත කියා ද, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැත නැත්තේත් නැත කියා ද” ඔය අයුරින් පිළිතුරක් නොදෙන්නට හේතුව කුමක්ද? ප්‍රත්‍යය කුමක්ද?

පින්වත් වච්ඡ, අන්‍යාගමික පිරිවැජියන්, “මෙය මාගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මය” කියලයි ඇස දිහා බලන්නේ. කන ….(පෙ)…. නාසය ….(පෙ)…. “මෙය මාගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මය” කියලයි දිව දිහා බලන්නේ. කය ….(පෙ)…. “මෙය මාගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මය” කියලයි මනස දිහා බලන්නේ. ඒ නිසයි මේ අයුරින් විමසූ විට අන්‍යාගමික පිරිවැජියන් “ලෝකය ශාස්වතයි කියා හෝ ….(පෙ)…. තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත කියා හෝ ඔය අයුරින් පිළිතුරු දෙන්නේ.

පින්වත් වච්ඡ, තථාගත වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ “මෙය මාගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ” කියා ඇස දකින සේක. කන ….(පෙ)…. නාසය ….(පෙ)…. “මෙය මාගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ” කියා දිව දකින සේක. කය ….(පෙ)…. “මෙය මාගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ” කියා මනස දකින සේක. ඒ නිසයි මේ අයුරින් විමසූ විට තථාගතයන් වහන්සේ “ලෝකය ශාස්වතයි කියාද, ….(පෙ)…. තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත නැත්තේත් නැත” කියා ද ඔය අයුරින් පිළිතුරු නොදෙන්නේ.

එතකොට වච්ඡගොත්ත පිරිවැජියා අසුනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුණා. සතුටු විය යුතු පිළිසඳර කතාබහේ යෙදිලා එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩිවුණ වච්ඡගොත්ත පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. භවත් ගෞතමයන් වහන්ස, ඇත්තෙන් ම ලෝකය සදාකාලික ද? පින්වත් වච්ඡ, ලෝකය සදාකාලික ද යන ඔය කාරණය මා විසින් නොවදාළ දෙයක්. භවත් ගෞතමයන් වහන්ස, එහෙමනම් ලෝකය සදාකාලික නැද්ද? ….(පෙ)…. භවත් ගෞතමයන් වහන්ස, එහෙමනම් තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නෙත් නැද්ද? නැත්තෙත් නැද්ද? පින්වත් වච්ඡ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේ නැත, නැත්තේ නැත යන ඔය කරුණත් මා විසින් නොවදාළ දෙයක්.

භවත් ගෞතමයන් වහන්ස, මේ අයුරින් විමසූ විට අන්‍යාගමික පිරිවැජියන් “ලෝකය ශාස්වතයි කියා හෝ, ….(පෙ)…. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැත නැත්තේත් නැත කියා හෝ” ඔය අයුරින් පිළිතුරු දෙන්නට හේතුව කුමක්ද? ප්‍රත්‍යය කුමක්ද? භවත් ගෞතමයන් වහන්ස, මේ අයුරින් විමසූ විට භවත් ගෞතමයන් වහන්සේ “ලෝකය ශාස්වතයි කියා ද, ….(පෙ)…. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැත නැත්තේත් නැත කියා ද” ඔය අයුරින් පිළිතුරක් නොදෙන්නට හේතුව කුමක්ද? ප්‍රත්‍යය කුමක්ද?

පින්වත් වච්ඡ, අන්‍යාගමික පිරිවැජියන් “මෙය මාගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මය” කියලයි ඇස දිහා බලන්නේ. කන ….(පෙ)…. නාසය ….(පෙ)…. “මෙය මාගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මය” කියලයි දිව දිහා බලන්නේ. කය ….(පෙ)…. “මෙය මාගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මය” කියලයි මනස දිහා බලන්නේ. ඒ නිසයි මේ අයුරින් විමසූ විට අන්‍යාගමික පිරිවැජියන් “ලෝකය ශාස්වතයි කියා හෝ ….(පෙ)…. තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත” කියා හෝ ඔය අයුරින් පිළිතුරු දෙන්නේ.

පින්වත් වච්ඡ, තථාගත වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ “මෙය මාගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ” කියා ඇස දකින සේක. කන ….(පෙ)…. නාසය ….(පෙ)…. “මෙය මාගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ” කියා දිව දකින සේක. කය ….(පෙ)…. “මෙය මාගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ” කියා මනස දකින සේක. ඒ නිසයි මේ අයුරින් විමසූ විට තථාගතයන් වහන්සේ “ලෝකය ශාස්වතයි කියා ද ….(පෙ)…. තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත” කියා ද ඔය අයුරින් පිළිතුරු නොදෙන්නේ.

භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්යයි. භවත් ගෞතමයන් වහන්ස, පුදුම සහගතයි. යම් හෙයකින් ශාස්තෘන් වහන්සේගේත් ශ්‍රාවකයෙකුගේත් මේ උතුම් දහම් කථාව තුළ අර්ථයෙන් අර්ථය, වචනයෙන් වචනය සැසඳිලා යනවා. ගැළපිලා යනවා. නොවෙනස් වෙලා යනවා. භවත් ගෞතමයන් වහන්ස, දැන් මං මොග්ගල්ලාන ශ්‍රමණයන් වහන්සේ ළඟට ගිහින් ඔය කාරණය ම ඇසුවා. ඒ මොග්ගල්ලාන ශ්‍රමණයන් වහන්සේත් ඔය පද වලින් ම, ඔය වචන ප්‍රකාශ කිරීම් වලින් ම මේ කාරණාව භවත් ගෞතමයන් වහන්සේ වදාළ පරිදි ම පැහැදිලි කළා. භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්යයි. භවත් ගෞතමයන් වහන්ස, පුදුම සහගතයි. යම් හෙයකින් ශාස්තෘන් වහන්සේගේත් ශ්‍රාවකයෙකුගේත් මේ උතුම් දහම් කථාව තුළ අර්ථයෙන් අර්ථය, වචනයෙන් වචනය සැසඳිලා යනවා. ගැළපිලා යනවා. නොවෙනස් වෙලා යනවා.

සාදු ! සාදු !! සාදු !!!

ආයතන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_10-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M