සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

10.1.3. උපගත සුත්තං

10.1.3. අයත් වීම ගැන වදාළ දෙසුම

ඒ දිනවල ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේත්, ආයුෂ්මත් මහාකොට්ඨිතයන් වහන්සේත් වැඩසිටියේ බරණැස් නුවර ඉසිපතන නම් වූ මුවන්ගේ අභය භූමියේ. එදා ආයුෂ්මත් මහාකොට්ඨිතයන් වහන්සේ සවස් කාලයේ භාවනාවෙන් නැගිටලා, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සමඟ සතුටු විය යුතු පිළිසඳර කතාබහේ යෙදිලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණු ආයුෂ්මත් මහාකොට්ඨිතයන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා.

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, ඇත්තෙන්ම තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද?” “ප්‍රිය ආයුෂ්මතුනි, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා ය යන කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්.” “ප්‍රිය ආයුෂ්මතුනි, එහෙමනම් තථාගතයන් වහන්සේ මරණින් මතු නැද්ද?” “ප්‍රිය ආයුෂ්මතුනි, තථාගතයන් වහන්සේ මරණින් නැත ය යන කරුණත් භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්.” “ප්‍රිය ආයුෂ්මතුනි, එහෙමනම් තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද? නැද්ද?” “ප්‍රිය ආයුෂ්මතුනි, තථාගතයන් වහන්සේ මරණින් ඇත, නැත යන කරුණත් භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්.” “ප්‍රිය ආයුෂ්මතුනි, එහෙමනම් තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැද්ද? නැත්තේත් නැද්ද?” “ප්‍රිය ආයුෂ්මතුනි, තථාගතයන් වහන්සේ මරණින් ඉන්නේත් නැත, නැත්තේත් නැත ය යන කරුණත් භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්.”

“ඇයි ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද? කියලා ඇසූ විට ප්‍රිය ආයුෂ්මතුනි, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා ය යන කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක් කියලා කිව්වේ? ….(පෙ)…. ඒ වගේම ඇයි ප්‍රිය ආයුෂ්මතුනි, එහෙමනම් තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැද්ද? නැත්තේත් නැද්ද? කියලා ඇසූ විට ප්‍රිය ආයුෂ්මතුනි, තථාගතයන් වහන්සේ මරණින් ඉන්නේත් නැත, නැත්තේත් නැත ය යන කරුණත් භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක් කියලා කිව්වේ? ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ විසින් එය නොවදාළ හේතුව මොකක්ද? ප්‍රත්‍යය මොකක්ද?”

“ප්‍රිය ආයුෂ්මතුනි, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාය යන කරුණ රූපයට අයත් වූ දෙයක්. තථාගතයන් වහන්සේ මරණින් මතු නැතය යන කරුණ රූපයට අයත් වූ දෙයක්. තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත, නැතය යන කරුණ රූපයට අයත් වූ දෙයක්. තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැතය යන කරුණ රූපයට අයත් වූ දෙයක්. ප්‍රිය ආයුෂ්මතුනි, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාය යන කරුණ විඳීමට අයත් වූ දෙයක්. තථාගතයන් වහන්සේ මරණින් මතු නැතය යන කරුණ විඳීමට අයත් වූ දෙයක්. තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත, නැතය යන කරුණ විඳීමට අයත් වූ දෙයක්. තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැතය යන කරුණ විඳීමට අයත් වූ දෙයක්. ප්‍රිය ආයුෂ්මතුනි, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාය යන කරුණ සඤ්ඤාවට අයත් වූ දෙයක්. තථාගතයන් වහන්සේ මරණින් මතු නැතය යන කරුණ සඤ්ඤාවට අයත් වූ දෙයක්. තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත, නැතය යන කරුණ සඤ්ඤාවට අයත් වූ දෙයක්. තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැතය යන කරුණ සඤ්ඤාවට අයත් වූ දෙයක්. ප්‍රිය ආයුෂ්මතුනි, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාය යන කරුණ සංස්කාරවලට අයත් වූ දෙයක්. තථාගතයන් වහන්සේ මරණින් මතු නැතය යන කරුණ සංස්කාරවලට අයත් වූ දෙයක්. තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත, නැතය යන කරුණ සංස්කාරවලට අයත් වූ දෙයක්. තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැතය යන කරුණ සංස්කාරයට අයත් වූ දෙයක්. ප්‍රිය ආයුෂ්මතුනි, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාය යන කරුණ විඤ්ඤාණයට අයත් වූ දෙයක්. තථාගතයන් වහන්සේ මරණින් මතු නැතය යන කරුණ විඤ්ඤාණයට අයත් වූ දෙයක්. තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත, නැතය යන කරුණ විඤ්ඤාණයට අයත් වූ දෙයක්. තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැතය යන කරුණ විඤ්ඤාණයට අයත් වූ දෙයක්.

ප්‍රිය ආයුෂ්මතුනි, යම් කරුණක් නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් මෙයට පිළිතුරු නොදුන්නා නම් එයට හේතුව මෙයයි. ප්‍රත්‍යය මෙයයි.

සාදු ! සාදු !! සාදු !!!

උපගත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_10-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M