සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

10.1.2. අනුරාධ සුත්තං

10.1.2. අනුරාධ තෙරුන්ට වදාළ දෙසුම

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ විශාලා මහනුවර මහා වනයේ කූටාගාර ශාලාවේ. ඒ දිනවල ආයුෂ්මත් අනුරාධයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට නුදුරින් වනගත කුටියකයි වාසය කළේ. එදා බොහෝ අන්‍යාගමික පරිබ්‍රාජකයන් ආයුෂ්මත් අනුරාධයන් වහන්සේ ළඟට පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් අනුරාධයන් සමඟ සතුටු වුණා. සතුටු විය යුතු පිළිසඳර කතාබහේ යෙදිලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ඒ අන්‍යාගමික පරිබ්‍රාජකයන් ආයුෂ්මත් අනුරාධයන් වහන්සේට මෙකරුණ සැළකළා. ප්‍රිය ආයුෂ්මත් අනුරාධයෙනි, යම් ඒ උත්තම පුරුෂ වූ පරම පුරුෂ වූ උතුම් ඵලයට පත් වූ තථාගතයන් වහන්සේ නමක් ඇද්ද, ඔහු පිළිබඳව තථාගතයන් වහන්සේ පණවනවා නම් පණවන්ට තිබෙන්නේ මේ සතර තැනක නේද? ඒ කියන්නේ තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා. එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේ නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා වගේම ඉන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නෙත් නෑ, ඉන්නෙ නැත්තෙත් නෑ කියල.

ප්‍රිය ආයුෂ්මත්වරුනි, යම් ඒ උත්තම පුරුෂ වූ පරම පුරුෂ වූ උතුම් ඵලයට පත් වූ තථාගතයන් වහන්සේ නමක් ඇද්ද, ඔහු පිළිබඳව තථාගතයන් වහන්සේ පණවනවා නම් පණවන්ට තිබෙන්නේ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා. එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේ නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා වගේම ඉන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නෙත් නෑ, ඉන්නෙ නැත්තෙත් නෑ කියන මේ සතර තැනින් බැහැරවයි. ඔය විදිහට පැවසූ විට ඒ අන්‍යාගමික පරිබ්‍රාජකයන් ආයුෂ්මත් අනුරාධයන් හට මෙකරුණ පැවසුවා. “ඒ මේ භික්ෂුව නම් නවක පැවිද්දෙක් වගෙයි. පැවිදි වෙලා වැඩි කලක් ගිය කෙනෙක් නම් නොවෙයි. එහෙම නැත්නම් ස්ථවිර කෙනෙක් වුණත් බාල වූ අව්‍යක්ත කෙනෙක් වගෙයි.” ඉතින් ඒ අන්‍යාගමික පරිබ්‍රාජකයන් ආයුෂ්මත් අනුරාධයන් හට නවකවාදයෙනුත්, බාලවාදයෙනුත් අපහාස කරලා ආසනයෙන් නැගිටලා පිටත් වුණා.

එතකොට ඒ අන්‍යාගමික පරිබ්‍රාජකයන් පිටත් වෙලා ගිහින් නොබෝ වෙලාවකින් ආයුෂ්මත් අනුරාධයන් හට මෙහෙම හිතුණා. ඉතින් ඒ අන්‍යාගමික පිරිවැජියන් තවදුරටත් මගෙන් ප්‍රශ්න ඇහුවා නම් මං කොයි විදිහෙන් ඒ අන්‍යාගමික පිරිවැජියන්ට උත්තර දෙනකොට ද භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙය ම පවසන කෙනෙක් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරන කෙනෙක් වෙන්නේ. ධර්මානුකූල වූ ම ධර්මයක් කියන කෙනෙක් වෙන්නේ. යම් කිසි කරුණු මත නොයෙක් වාදයන් නංවමින් ගැරහිය යුතු තැනකට පත් නොවන කෙනෙක් වෙන්නේ. එතකොට ආයුෂ්මත් අනුරාධයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් අනුරාධයන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ වදාළා.

ස්වාමීනි, මං මෙහි භාග්‍යවතුන් වහන්සේට නුදුරින් වනගත කුටියකයි වාසය කළේ. එතකොට බොහෝ අන්‍යාගමික පරිබ්‍රාජකයන් මා ළඟට පැමිණුනා. පැමිණිලා මා සමඟ සතුටු වුණා. සතුටු විය යුතු පිළිසඳර කතාබහේ යෙදිලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ අන්‍යාගමික පරිබ්‍රාජකයන් මට මෙකරුණ සැළකළා. ප්‍රිය ආයුෂ්මත් අනුරාධයෙනි, යම් ඒ උත්තම පුරුෂ වූ පරම පුරුෂ වූ උතුම් ඵලයට පත් වූ තථාගතයන් වහන්සේ නමක් ඇද්ද, ඔහු පිළිබඳව තථාගතයන් වහන්සේ පණවනවා නම් පණවන්ට තිබෙන්නේ මේ සතර තැනක නේද? ඒ කියන්නේ තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා ….(පෙ)…. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නෙත් නෑ, ඉන්නෙ නැත්තෙත් නෑ කියල. ඔය විදිහට පැවසූ විට ස්වාමීනි, මං ඒ අන්‍යාගමික පරිබ්‍රාජකයන් හට මෙකරුණ පැවසුවා. ප්‍රිය ආයුෂ්මත්වරුනි, යම් ඒ උත්තම පුරුෂ වූ පරම පුරුෂ වූ උතුම් ඵලයට පත් වූ තථාගතයන් වහන්සේ නමක් ඇද්ද, ඔහු පිළිබඳව තථාගතයන් වහන්සේ පණවනවා නම් පණවන්ට තිබෙන්නේ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා. ….(පෙ)…. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නෙත් නෑ, ඉන්නෙ නැත්තෙත් නෑ කියන මේ සතර තැනින් බැහැරවයි.

ස්වාමීනි ඔය විදිහට පැවසූ විට ඒ අන්‍යාගමික පරිව්‍රාජකයන් මට මෙකරුණ පැවසුවා. “ඒ මේ භික්ෂුව නම් නවක පැවිද්දෙක් වගෙයි. පැවිදි වෙලා වැඩි කලක් ගිය කෙනෙක් නම් නොවෙයි. එහෙම නැත්නම් ස්ථවිර කෙනෙක් වුණත් බාල වූ අව්‍යක්ත කෙනෙක් වගෙයි” කියලා. ඉතින් ස්වාමීනි, ඒ අන්‍යාගමික පරිබ්‍රාජකයන් මට නවකවාදයෙනුත්, බාලවාදයෙනුත් අපහාස කරලා ආසනයෙන් නැගිටලා පිටත් වුණා. එතකොට ඒ අන්‍යාගමික පරිබ්‍රාජකයන් පිටත් වෙලා ගිහින් නොබෝ වෙලාවකින් මට මෙහෙම හිතුණා. ඉදින් ඒ අන්‍යාගමික පිරිවැජියන් තවදුරටත් මගෙන් ප්‍රශ්න ඇහුවා නම් මං කොයි විදිහෙන් ඒ අන්‍යාගමික පිරිවැජියන්ට උත්තර දෙනකොට ද භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙය ම පවසන කෙනෙක් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරන කෙනෙක් වෙන්නේ. ධර්මානුකූල වූ ම ධර්මයක් කියන කෙනෙක් වෙන්නේ. යම් කිසි කරුණු මත නොයෙක් වාදයන් නංවමින් ගැරහිය යුතු තැනකට පත් නොවන කෙනෙක් වෙන්නේ කියලා.

පින්වත් අනුරාධ, ඔබ මේ ගැන කුමක්ද සිතන්නේ? රූපය යනු නිත්‍ය දෙයක් ද? අනිත්‍ය දෙයක් ද? ස්වාමීනි, අනිත්‍යයි. යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක් ද? සැප දෙයක් ද? ස්වාමීනි, දුකයි. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එය ‘මෙය මගේ කියා හෝ මෙය මම වෙමියි කියා හෝ මෙය මාගේ ආත්මය’ කියා හෝ මුළාවෙන් දකින එක සුදුසුද? ස්වාමීනි, එය සුදුසු නෑ ම යි. වේදනාව ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය යනු නිත්‍ය දෙයක් ද? අනිත්‍ය දෙයක් ද? ස්වාමීනි අනිත්‍යයි. යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක් ද, සැප දෙයක් ද? ස්වාමීනි, දුකයි. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වෙන ධර්මතාවයට අයත් දෙයක් නම් එය ‘මෙය මාගේ කියා හෝ මෙය මම වෙමි කියා හෝ මෙය මාගේ ආත්මය’ කියා හෝ මුළාවෙන් දකින එන සුදුසු ද? ස්වාමීනි, එය සුදුසු නෑ ම යි.

එහෙම නම් පින්වත් අනුරාධ, අතීත, අනාගත, වර්තමාන වූ යම් කිසි රූපයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) රූපයක් වෙන්ට පුළුවනි, බාහිර රූපයක් වෙන්ට පුළුවනි, ගොරෝසු රූපයක් වෙන්ට පුළුවනි, සියුම් රූපයක් වෙන්ට පුළුවනි, හීන රූපයක් වෙන්ට පුළුවනි, උසස් රූපයක් වෙන්ට පුළුවනි, දුර තිබෙන රූපයක් වෙන්ට පුළුවනි, ළඟ තිබෙන රූපයක් වෙන්ට පුළුවනි, ඒ සෑම රූපයක් ම “මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ” යන ඔය කරුණ ඒ ආකාරයෙන් ම දියුණු කළ ප්‍රඥාවෙන් දැකගන්ට ඕන. අතීත, අනාගත, වර්තමාන වූ යම් කිසි වේදනාවක් ඇද්ද ….(පෙ)…. අතීත, අනාගත, වර්තමාන වූ යම් කිසි සඤ්ඤාවක් ඇද්ද ….(පෙ)…. අතීත, අනාගත, වර්තමාන වූ යම් කිසි සංස්කාර ඇද්ද….(පෙ)…. අතීත, අනාගත, වර්තමාන වූ යම් කිසි විඤ්ඤාණයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) විඤ්ඤාණයක් වෙන්ට පුළුවනි, බාහිර විඤ්ඤාණයක් වෙන්ට පුළුවනි, ගොරෝසු විඤ්ඤාණයක් වෙන්ට පුළුවනි, සියුම් විඤ්ඤාණයක් වෙන්ට පුළුවනි, හීන විඤ්ඤාණයක් වෙන්ට පුළුවනි, උසස් විඤ්ඤාණයක් වෙන්ට පුළුවනි, දුර තිබෙන විඤ්ඤාණයක් වෙන්ට පුළුවනි, ළඟ තිබෙන විඤ්ඤාණයක් වෙන්ට පුළුවනි, ඒ සෑම විඤ්ඤාණයක් ම “මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ” යන ඔය කරුණ ඒ ආකාරයෙන් ම දියුණු කළ ප්‍රඥාවෙන් දැකගන්ට ඕන.

පින්වත් අනුරාධ, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකිනකොට රූපය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. විඳීම ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. සඤ්ඤාව ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. සංස්කාර ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. විඤ්ඤාණය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කලකිරුණු විට ඒ කෙරෙහි තිබුණු ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වූ බවට අවබෝධ ඤාණය ඇති වෙනවා. “ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන පිණිස කළ යුතු දෙය කළා. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම” යැයි අවබෝධයෙන්ම දැන ගන්නවා.

පින්වත් අනුරාධ, ඔබ කුමක්ද මේ ගැන හිතන්නේ? තථාගතයන් වහන්සේ හැටියට ඔබ දකින්නේ රූපය ද? ස්වාමීනි, එය නොවේ ම යි. තථාගතයන් වහන්සේ හැටියට ඔබ දකින්නේ විඳීම ද? ස්වාමීනි, එය නොවේ ම යි. තථාගතයන් වහන්සේ හැටියට ඔබ දකින්නේ සඤ්ඤාව ද? ස්වාමීනි, එය නොවේ ම යි. තථාගතයන් වහන්සේ හැටියට ඔබ දකින්නේ සංස්කාර ද? ස්වාමීනි, එය නොවේ ම යි. තථාගතයන් වහන්සේ හැටියට ඔබ දකින්නේ විඤ්ඤාණය ද? ස්වාමීනි, එය නොවේ ම යි. පින්වත් අනුරාධ, ඔබ කුමක්ද මේ ගැන හිතන්නේ? ඔබ දකින්නේ රූපය තුළ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලද? ස්වාමීනි, එය නොවේ ම යි. ඔබ දකින්නේ රූපයෙන් බැහැර වූ දෙයක් තුළ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලද? ස්වාමීනි, එය නොවේ ම යි. ඔබ දකින්නේ වේදනාව තුළ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලද? ….(පෙ)…. ඔබ දකින්නේ වේදනාවෙන් බැහැර වූ දෙයක් තුළ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලද? ….(පෙ)…. ඔබ දකින්නේ සඤ්ඤාව තුළ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලද? ….(පෙ)…. ඔබ දකින්නේ සඤ්ඤාවෙන් බැහැර වූ දෙයක් තුළ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලද? ….(පෙ)…. ඔබ දකින්නේ සංස්කාර තුළ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලද? ….(පෙ)…. ඔබ දකින්නේ සංස්කාර වලින් බැහැර වූ දෙයක් තුළ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලද? ….(පෙ)…. ඔබ දකින්නේ විඤ්ඤාණය තුළ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලද? ස්වාමීනි, එය නොවේ ම යි. ඔබ දකින්නේ විඤ්ඤාණයෙන් බැහැර වූ දෙයක් තුළ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලද? ස්වාමීනි, එය නොවේ ම යි. පින්වත් අනුරාධ, ඔබ කුමක්ද මේ ගැන හිතන්නේ? තථාගතයන් වහන්සේ හැටියට ඔබ දකින්නේ රූපය ද? ….(පෙ)…. වේදනාව ද? ….(පෙ)…. සඤ්ඤාව ද? ….(පෙ)…. සංස්කාර ද? ….(පෙ)…. තථාගතයන් වහන්සේ හැටියට ඔබ දකින්නේ විඤ්ඤාණය ද? ස්වාමීනි, එය නොවේ ම යි.

පින්වත් අනුරාධ, ඔබ කුමක්ද මේ ගැන හිතන්නේ? ඒ අරූපී වූ අවේදනීය වූ අසඤ්ඤී වූ අසංඛාර වූ අවිඤ්ඤාණ වූ මෙය තථාගතයන් වහන්සේ හැටියට ද ඔබ දකින්නේ? ස්වාමීනි, එය නොවේ ම යි. පින්වත් අනුරාධ, ඔබට මෙතැනදී ම මේ ජීවිතයේදී ම සත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන්, තථාගතයන් වහන්සේව ලබාගන්ට බැරිව සිටියදී අර විදිහට කතා කරන එක සුදුසුද? “ප්‍රිය ආයුෂ්මත්වරුනි, යම් ඒ උත්තම පුරුෂ වූ පරම පුරුෂ වූ උතුම් ඵලයට පත් වූ තථාගතයන් වහන්සේ නමක් ඇද්ද, ඔහු පිළිබඳව තථාගතයන් වහන්සේ පණවනවා නම් පණවන්ට තිබෙන්නේ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා ….(පෙ)…. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නෙත් නෑ, ඉන්නෙ නැත්තෙත් නෑ කියන මේ සතර තැනින් බැහැරවයි” කියලා. ස්වාමීනි, එය නොවේ ම යි. සාදු! සාදු! පින්වත් අනුරාධයෙනි. පින්වත් අනුරාධයෙනි, ඉස්සරත් දැනුත් මං පණවන්නේ දුක ගැනත්, දුක නිරුද්ධ වීම ගැනත් විතරයි.

සාදු ! සාදු !! සාදු !!!

අනුරාධ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_10-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M