ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. ඒ දිනවල ඛේමා භික්‍ෂුණිය කොසොල් ජනපදයේ චාරිකාවේ වඩිද්දී සැවැත් නුවරටත් සාකේත නුවරටත් අතර තෝරණවත්ථු නම් ගමෙහි සිටීමට පැමිණුනා. එදා පසේනදී කොසොල් රජතුමා සාකේත නුවරින් සැවැත් නුවරට යද්දී සාකේත නුවරටත් සැවැත් නුවරටත් අතර වූ තෝරණවත්ථු ග්‍රාමයෙහි එක් රැයක වාසයට පැමිණුනා. ඉතින් පසේනදී කොසොල් රජතුමා එක්තරා පුරුෂයෙක් ඇමතුවා. “එම්බා පුරුෂය, ඔබ එන්න, මං අද කවුරුන් එක්ක හෝ දහම් ඇසුරක් පවත්වනවා නම්, ඊට සුදුසු ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ තෝරණවත්ථු ගමේ ඉන්නවාද කියලා තොරතුරු හොයා ගන්න.”
“එසේය දේවයන් වහන්ස,” කියලා ඒ පුරුෂයා පසේනදී කොසොල් රජුට පිළිතුරු දීල මුළු තෝරණවත්ථු ගමම පාහේ පීරා ඇවිද බලද්දී පසේනදී කොසොල් රජතුමා කවුරුන් එක්ක හෝ දහම් ඇසුරක් පවත්වනවා නම්, ඊට සුදුසු ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ තෝරණවත්ථු ගමේ දැක ගත්තේ නෑ. නමුත් ඒ පුරුෂයා ඛේමා භික්ෂුණිය තෝරණවත්ථු ගමේ සිටින බව දැක්කා. දැකලා පසේනදී කොසොල් රජතුමා ළඟට පැමිණුනා. පැමිණිලා පසේනදී කොසොල් රජතුමාට මෙකරුණ සැළ කළා. “දේවයන් වහන්ස, දේවයන් වහන්සේ දහම් ඇසුරක් පිණිස කවුරුන් හෝ ඇසුරු කළ යුතු නම් එබඳු ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ තෝරණවත්ථු ගමේ දැක ගන්ට ලැබුණේ නෑ. එනමුත් දේවයන් වහන්ස, ඒ අරහත් සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වන ඛේමා නම් වූ භික්ෂුණියක් නම් ඉන්නවා. ඒ ආර්යාව ගැන මෙවැනි වූ කල්‍යාණ කීර්ති ඝෝෂාවක් පැතිර ගොස් තිබෙනවා. “ඉතා ඥානවන්තයි. ව්‍යක්තයි. ප්‍රඥාවන්තයි. බොහෝ ඇසූ පිරූ දහම් දැනුමක් තියෙනවා. විසිතුරු කතාබහෙන් යුක්තයි. සොඳුරු වැටහීමෙන් යුක්තයි” කියල. දේවයන් වහන්ස, ඒ භික්ෂුණිය සමඟ දහම් කථාව පවත්වනු මැනව.”
එතකොට පසේනදී කොසොල් රජතුමා ඛේමා භික්ෂුණිය සිටි තැනට පැමිණුනා. පැමිණිලා ඛේමා භික්ෂුණියට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ පසේනදී කොසොල් රජතුමා ඛේමා භික්ෂුණියට මෙකරුණ පැවසුවා. “ආර්යාවනි, ඇත්තෙන් ම තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද?” “පින්වත් මහාරාජ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාය යන කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්.” “ආර්යාවනි, එහෙමනම් තථාගතයන් වහන්සේ මරණින් මතු නැද්ද?” “පින්වත් මහාරාජ, තථාගතයන් වහන්සේ මරණින් මතු නැතය යන කරුණත් භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්.” “ආර්යාවනි, එහෙමනම් තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද? නැද්ද?” “පින්වත් මහාරාජ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත, නැත යන කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්.” “ආර්යාවනි, එහෙමනම් තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැද්ද? නැත්තේත් නැද්ද?” “පින්වත් මහාරාජ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේ නැත, නැත්තේ නැතය යන කරුණත් භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්.”
“ඇයි ආර්යාවනි, ඇත්තෙන් ම තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද? කියලා ඇසූ විට, පින්වත් මහාරාජ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාය යන කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක් කියලා කිව්වේ? ඒ වගේම ඇයි ආර්යාවනි, එහෙම නම් තථාගතයන් වහන්සේ මරණින් මතු නැද්ද? කියලා ඇසූ විට, පින්වත් මහාරාජ, තථාගතයන් වහන්සේ මරණින් මතු නැතය යන කරුණත් භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක් කියලා කිව්වේ? ඒ වගේම ඇයි ආර්යාවනි, එහෙමනම් තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද? නැද්ද? කියලා ඇසූ විට, පින්වත් මහාරාජ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත, නැත යන කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක් කියලා කිව්වේ? ඒ වගේම ඇයි ආර්යාවනි, එහෙම නම් තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැද්ද? නැත්තේත් නැද්ද? කියලා ඇසූ විට, පින්වත් මහාරාජ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේ නැත, නැත්තේ නැතය යන කරුණත් භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක් කියලා කිව්වේ? පින්වත් ආර්යාවනි, භාග්‍යවතුන් වහන්සේ විසින් එය නොවදාළ හේතුව මොකක්ද? ප්‍රත්‍යය මොකක්ද?”
“පින්වත් මහාරාජ, එහෙම නම් ඔබෙන්ම මෙම කරුණ විමසන්නම්. ඔබට යම් අයුරකින් වැටහෙනවා නම්, ඒ අයුරින් පිළිතුරු දෙන්න.
පින්වත් මහාරාජ, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? යම් කෙනෙක් මෙච්චරක් වැලි තියෙනවා කියල හෝ මෙච්චර සිය ගණනක් වැලි කැට තියෙනවා කියලා හෝ මෙච්චර දහස් ගණනක් වැලි කැට තියෙනවා කියලා හෝ මෙච්චර ලක්‍ෂ ගණනක් වැලි කැට තියෙනවා කියලා ගංගා නදියෙහි වැලි ගණන් කරන්නට පුළුවන් නම් එබඳු ගණන් තබන්නෙක් හෝ මුද්‍රා තබන්නෙක් හෝ සංඛ්‍යාවන් පෙන්වන්නෙක් හෝ ඔබට ඉන්නවාද?” “ආර්යාවෙනි, මෙය නොවේමය.” “යම් කෙනෙක් මෙච්චර වතුර නැලි තියෙනවා කියලා හෝ මෙච්චර සිය ගණනක් වතුර නැලි තියෙනවා කියලා හෝ මෙච්චර දහස් ගණනක් වතුර නැලි තියෙනවා කියලා හෝ මෙච්චර ලක්‍ෂ ගණනක් වතුර නැලි තියෙනවා කියලා මහා සාගරයේ ජල ප්‍රමාණය ගණන් කරන්නට පුළුවන් නම් එබඳු ගණන් තබන්නෙක් හෝ මුද්‍රා තබන්නෙක් හෝ සංඛ්‍යාවන් පෙන්වන්නෙක් හෝ ඔබට ඉන්නවාද?” “ආර්යාවෙනි, මෙය නොවේමය.” “එයට හේතුව කුමක්ද?” “පින්වත් ආර්යාවෙනි, මහා සාගරය ගැඹුරුයි නොවැ. මිණුමකට ගන්ට බැහැ නොවැ. බැස ගන්ට බැහැ නොවැ.”
“පින්වත් මහාරාජ, ඔය විදිහමයි. තථාගතයන් වහන්සේව පණවනවා නම් පණවන්නේ යම් රූපයකින් නම්, ඒ රූපය තථාගතයන් වහන්සේට ප්‍රහීණ වෙලයි තියෙන්නේ. මුලින් සිඳිලයි තියෙන්නේ. කරටිය සිඳුනු තල් ගසක් මෙන් වෙලයි තියෙන්නේ. අභාවයට පත් වෙලයි තියෙන්නේ. නැවත නූපදින පරිදි නැතිවෙලයි තියෙන්නේ. පින්වත් මහාරාජ, රූපය පිළිබඳ තෘෂ්ණාව ගෙවා දැමීමෙන් නිදහස් වී ඇති තථාගතයන් වහන්සේ ගම්භීරයි. මිණුමකට අයත් වන්නේ නෑ. බැස ගැනීමකට අයත් වන්නේ නෑ. මහා සාගරය වගේ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද යන කරුණ යෙදවෙන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු නැතය යන කරුණ යෙදවෙන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද නැද්ද යන කරුණ යෙදවෙන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැත නැත්තේත් නැත යන කරුණ යෙදවෙන්නෙත් නෑ.
තථාගතයන් වහන්සේව පණවනවා නම් පණවන්නේ යම් විඳීමකින් නම්, ඒ විඳීම තථාගතයන් වහන්සේට ප්‍රහීණ වෙලයි තියෙන්නේ. මුලින් සිඳිලයි තියෙන්නේ. කරටිය සිඳුනු තල් ගසක් මෙන් වෙලයි තියෙන්නේ. අභාවයට පත් වෙලයි තියෙන්නේ. නැවත නූපදින පරිදි නැති වෙලයි තියෙන්නේ. පින්වත් මහාරාජ, විඳීම පිළිබඳ තෘෂ්ණාව ගෙවා දැමීමෙන් නිදහස් වී ඇති තථාගතයන් වහන්සේ ගම්භීරයි. මිණුමකට අයත් වන්නේ නෑ. බැස ගැනීමකට අයත් වන්නේ නෑ. මහා සාගරය වගේ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද යන කරුණ යෙදවෙන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු නැතය යන කරුණ යෙදවෙන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද, නැද්ද යන කරුණ යෙදවෙන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැත, නැත්තේත් නැත යන කරුණ යෙදවෙන්නෙත් නෑ. යම් සඤ්ඤාවකින් නම් ….(පෙ)….
තථාගතයන් වහන්සේව පණවනවා නම් පණවන්නේ යම් සංස්කාර වලින් නම්, ඒ සංස්කාර තථාගතයන් වහන්සේට ප්‍රහීණ වෙලයි තියෙන්නේ. මුලින් සිඳිලයි තියෙන්නේ. කරටිය සිඳුනු තල් ගසක් මෙන් වෙලයි තියෙන්නේ. අභාවයට පත් වෙලයි තියෙන්නේ. නැවත නූපදින පරිදි නැතිවෙලයි තියෙන්නේ. පින්වත් මහාරාජ, සංස්කාර පිළිබඳ තෘෂ්ණාව ගෙවා දැමීමෙන් නිදහස් වී ඇති තථාගතයන් වහන්සේ ගම්භීරයි. මිණුමකට අයත් වන්නේ නෑ. බැස ගැනීමකට අයත් වන්නේ නෑ. මහා සාගරය වගේ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද යන කරුණ යෙදවෙන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු නැතය යන කරුණ යෙදවෙන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද නැද්ද යන කරුණ යෙදවෙන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැත නැත්තේත් නැත යන කරුණ යෙදවෙන්නෙත් නෑ.
තථාගතයන් වහන්සේව පණවනවා නම් පණවන්නේ යම් විඤ්ඤාණයකින් නම්, ඒ විඤ්ඤාණය තථාගතයන් වහන්සේට ප්‍රහීණ වෙලයි තියෙන්නේ. මුලින් සිඳලයි තියෙන්නේ. කරටිය සිඳුනු තල් ගසක් මෙන් වෙලයි තියෙන්නේ. අභාවයට පත් වෙලයි තියෙන්නේ. නැවත නූපදින පරිදි නැති වෙලයි තියෙන්නේ. පින්වත් මහාරාජ, විඤ්ඤාණය පිළිබඳ තෘෂ්ණාව ගෙවා දැමීමෙන් නිදහස් වී ඇති තථාගතයන් වහන්සේ ගම්භීරයි. මිණුමකට අයත් වන්නේ නෑ. බැස ගැනීමකට අයත් වන්නේ නෑ. මහා සාගරය වගේ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද යන කරුණ යෙදවෙන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු නැතය යන කරුණ යෙදවෙන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද, නැද්ද යන කරුණ යෙදවෙන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැත, නැත්තේත් නැත යන කරුණ යෙදවෙන්නෙත් නෑ.
ඉතින් පසේනදී කොසොල් රජතුමා ඛේමා භික්ෂුණියගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වුණා. අසුනෙන් නැගිට ඛේමා භික්ෂුණියට වන්දනා කොට පැදකුණු කොට පිටත් වුණා. ඊටපස්සේ පසේනදි කොසොල් රජතුමා පසුකලෙක භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, ඇත්තෙන් ම තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද?” “පින්වත් මහාරාජ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාය යන කරුණ මා විසින් නොවදාළ දෙයක්.” “ස්වාමීනි, එහෙමනම් තථාගතයන් වහන්සේ මරණින් මතු නැද්ද?” “පින්වත් මහාරාජ, තථාගතයන් වහන්සේ මරණින් මතු නැතය යන කරුණ මා විසින් නොවදාළ දෙයක්” ….(පෙ)….
“ඇයි ස්වාමීනි, ඇත්තෙන් ම තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද? කියලා ඇසූ විට පින්වත් මහාරාජ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාය යන කරුණ මා විසින් නොවදාළ දෙයක් කියලා කිව්වේ? ….(පෙ)…. ඇයි ස්වාමීනි, එහෙමනම් තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැද්ද? නැත්තේත් නැද්ද? කියලා ඇසූ විට, පින්වත් මහාරාජ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේ නැත, නැත්තේ නැතය යන කරුණ මා විසින් නොවදාළ දෙයක් කියලා කිව්වේ? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් එය නොවදාළ හේතුව මොකක්ද? ප්‍රත්‍යය මොකක්ද?
පින්වත් මහාරාජ, එහෙමනම් ඔබෙන් ම මෙම කරුණ විමසන්නම්. ඔබට යම් අයුරකින් වැටහෙනවා නම්, ඒ අයුරින් පිළිතුරු දෙන්න. පින්වත් මහාරාජ, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? යම් කෙනෙක් මෙච්චරක් වැලි තියෙනවා කියලා ….(පෙ)…. මෙච්චර ලක්‍ෂ ගණනක් වැලි කැට තියෙනවා කියලා ගංගා නදියෙහි වැලි ගණන් කරන්නට පුළුවන් නම්, එබඳු ගණන් තබන්නෙක් හෝ මුද්‍රා තබන්නෙක් හෝ සංඛ්‍යාවන් පෙන්වන්නෙක් හෝ ඔබට ඉන්නවාද?” “ස්වාමීනි, මෙය නොවේමය.” “යම් කෙනෙක් මෙච්චර වතුර නැලි තියෙනවා කියලා ….(පෙ)…. මෙච්චර ලක්‍ෂ ගණනක් වතුර නැලි තියෙනවා කියලා මහා සාගරයේ ජල ප්‍රමාණය ගණන් කරන්නට පුළුවන් නම් එබඳු ගණන් තබන්නෙක් හෝ මුද්‍රා තබන්නෙක් හෝ සංඛ්‍යාවන් පෙන්වන්නෙක් හෝ ඔබට ඉන්නවාද?” “ස්වාමීනි, මෙය නොවේමය.” “එයට හේතුව කුමක්ද?” “ස්වාමීනි, මහා සාගරය ගැඹුරුයි නොවැ. මිණුමකට ගන්ට බැහැ නොවැ. බැසගන්ට බැහැ නොවැ.”
“පින්වත් මහාරාජ, ඔය විදිහමයි. තථාගතයන් වහන්සේව පණවනවා නම් පණවන්නේ යම් රූපයකින් නම්, ඒ රූපය තථාගතයන් වහන්සේට ප්‍රහීණ වෙලයි තියෙන්නේ. මුලින් සිඳිලයි තියෙන්නේ. කරටිය සිඳුනු තල් ගසක් මෙන් වෙලයි තියෙන්නේ. අභාවයට පත් වෙලයි තියෙන්නේ. නැවත නූපදින පරිදි නැතිවෙලයි තියෙන්නේ. පින්වත් මහාරාජ, රූපය පිළිබඳ තෘෂ්ණාව ගෙවා දැමීමෙන් නිදහස් වී ඇති තථාගතයන් වහන්සේ ගම්භීරයි. මිණුමකට අයත් වන්නේ නෑ. බැස ගැනීමකට අයත් වන්නේ නෑ. මහා සාගරය වගේ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද යන කරුණ යෙදවෙන්නෙත් නෑ ….(පෙ)…. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැත නැත්තේත් නැත යන කරුණ යෙදවෙන්නෙත් නෑ.
යම් විඳීමකින් නම් ….(පෙ)…. යම් සඤ්ඤාවකින් නම් ….(පෙ)…. යම් සංස්කාරවලින් නම් ….(පෙ)…. තථාගතයන් වහන්සේව පණවනවා නම් පණවන්නේ යම් විඤ්ඤාණයකින් නම්, ඒ විඤ්ඤාණය තථාගතයන් වහන්සේට ප්‍රහීණ වෙලයි තියෙන්නේ. මුලින් සිඳිලයි තියෙන්නේ. කරටිය සිඳුනු තල් ගසක් මෙන් වෙලයි තියෙන්නේ. අභාවයට පත් වෙලයි තියෙන්නේ. නැවත නූපදින පරිදි නැති වෙලයි තියෙන්නේ. පින්වත් මහාරාජ, විඤ්ඤාණය පිළිබඳ තෘෂ්ණාව ගෙවා දැමීමෙන් නිදහස් වී ඇති තථාගතයන් වහන්සේ ගම්භීරයි. මිණුමකට අයත් වන්නේ නෑ. බැස ගැනීමකට අයත් වන්නේ නෑ. මහා සාගරය වගේ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද යන කරුණ යෙදවෙන්නෙත් නෑ ….(පෙ)…. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැත, නැත්තේත් නැත යන කරුණ යෙදවෙන්නෙත් නෑ.
ස්වාමීනි, ආශ්චර්ය යි. ස්වාමීනි, පුදුම සහගතයි. යම් හෙයකින් ශාස්තෘන් වහන්සේගේත් ශ්‍රාවිකාවකගේත් මේ උතුම් දහම් කථාව තුළ අර්ථයෙන් අර්ථය, වචනයෙන් වචනය සැසඳිලා යනවා. ගැලපිලා යනවා. නොවෙනස් වෙලා යනවා. ස්වාමීනි, එක දවසක් මං ඛේමා භික්ෂුණිය ළඟට ගිහින් ඔය කාරණය ම ඇසුවා. ඒ ආර්යාවත් ඔය පද වලින් ම, ඔය වචන ප්‍රකාශ කිරීම් වලින් ම මේ කාරණාව භාග්‍යවතුන් වහන්සේ වදාළ පරිදි ම පැහැදිලි කළා. ස්වාමීනි, ආශ්චර්ය යි. ස්වාමීනි, පුදුම සහගතයි. යම් හෙයකින් ශාස්තෘන් වහන්සේගේත් ශ්‍රාවිකාවකගේත් මේ උතුම් දහම් කථාව තුළ අර්ථයෙන් අර්ථය, වචනයෙන් වචනය සැසඳිලා යනවා. ගැලපිලා යනවා. නොවෙනස් වෙලා යනවා. ස්වාමීනි, අපි දැන් පිටත් වෙන්නම්. අපි බොහෝ කටයුතු ඇති අය නොවැ. කළයුතු බොහෝ දේ ඇති අය නොවැ. පින්වත් මහාරාජ, යම් කිසිවකට දැන් කාලය නම්, එය දැන ගත මැනැව. ඉතින් පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන, අනුමෝදන් වෙලා, අසුනෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට, පැදකුණු කොට පිටත් වුණා.
සාදු ! සාදු !! සාදු !!!
ඛේමා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_10-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M