සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.9.1. පලෝකධම්ම සුත්තං

1.9.1. බිඳීයන ස්වභාවය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ……

එදා ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. ස්වාමීනී, ලෝකය, ලෝකය කියලා කියනවා. ස්වාමීනී, ලෝකය කියලා කියන්නේ කවර කරුණු මත ද?

පින්වත් ආනන්ද, යමක් බිඳී යන ස්වභාවයෙන් යුක්තයි ද, ආර්ය විනයෙහි ලෝකය කියලා කියන්නේ මෙයටයි. පින්වත් ආනන්ද, බිඳී යන ස්වභාවයෙන් යුතු දෙය කුමක්ද? පින්වත් ආනන්ද, ඇස බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. රූප බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. ඇසේ විඤ්ඤාණය බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. ඇසේ ස්පර්ශය බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. ….(පෙ)….

දිව බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. රස බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. දිවේ විඤ්ඤාණය බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. දිවේ ස්පර්ශය බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. ….(පෙ)….

මනස බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. මනසට අරමුණු වන දේ බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. මනසේ විඤ්ඤාණය බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. මනසේ ස්පර්ශය බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. පින්වත් ආනන්ද, යමක් බිඳී යන ස්වභාවයෙන් යුක්තයි ද, ආර්ය විනයෙහි ලෝකය කියලා කියන්නේ මෙයට යි.

සාදු! සාදු!! සාදු!!!

පලෝකධම්ම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-9-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M