සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.8.10. ඵග්ගුන සුත්තං

1.8.10. ඵග්ගුන තෙරුන්ට වදාළ දෙසුම

එදා ආයුෂ්මත් ඵග්ගුන තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් ඵග්ගුන තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළා.

ස්වාමීනී, තණ්හාව නැසූ, තණ්හා මාර්ගත් නැසූ, සසර ගමන අවසන් කළ, සියලු දුක් ඉක්මවා ගිය පිරිනිවන් පා වදාළ අතීතයෙහි වැඩසිටි බුදුවරයන් වහන්සේලාව යම් ඇසකින් පණවනවා නම්, පැණවීමට එබඳු ඇසක් තියෙනවාද? ….(පෙ)…. පිරිනිවන් පා වදාළ අතීතයෙහි වැඩසිටි බුදුවරයන් වහන්සේලාව යම් දිවකින් පණවනවා නම්, පැණවීමට එබඳු දිවක් තියෙනවාද? ….(පෙ)…. ස්වාමීනී, තණ්හාව නැසූ, තණ්හා මාර්ගත් නැසූ, සසර ගමන අවසන් කළ, සියලු දුක් ඉක්මවා ගිය පිරිනිවන් පා වදාළ අතීතයෙහි වැඩසිටි බුදුවරයන් වහන්සේලාව යම් මනසකින් පණවනවා නම්, පැණවීමට එබඳු මනසක් තියෙනවා ද?

පින්වත් ඵග්ගුන, තණ්හාව නැසූ, තණ්හා මාර්ගත් නැසූ, සසර ගමන අවසන් කළ, සියලු දුක් ඉක්මවා ගිය පිරිනිවන් පා වදාළ අතීතයෙහි වැඩසිටි බුදුවරයන් වහන්සේලාව යම් ඇසකින් පණවනවා නම්, පැණවීමට එබඳු ඇසක් නැත ….(පෙ)…. පින්වත් ඵග්ගුන, පිරිනිවන් පා වදාළ අතීතයෙහි වැඩසිටි බුදුවරයන් වහන්සේලාව යම් දිවකින් පණවනවා නම්, පැණවීමට එබඳු දිවක් නැත ….(පෙ)…. පින්වත් ඵග්ගුන, තණ්හාව නැසූ, තණ්හා මාර්ගත් නැසූ, සසර ගමන අවසන් කළ, සියලු දුක් ඉක්මවා ගිය, පිරිනිවන් පා වදාළ අතීතයෙහි වැඩසිටි බුදුවරයන් වහන්සේලාව යම් මනසකින් පණවනවා නම්, පැණවීමට එබඳු මනසක් නැත.

සාදු! සාදු!! සාදු!!!

ඵග්ගුන සූත්‍රය නිමා විය.

විශේෂ විස්තරය

ඵග්ගුන තෙරුන් අසන මෙම ප්‍රශ්නයෙහි ආත්ම දෘෂ්ටිය තිබේ. එනම්, අතීත බුදුවරයන් වහන්සේලා ගැන කරුණු පැවසීමේ දී ඇස, කන, නාසය, දිව, කය, මන යන ආයතනවලින් බුදු කෙනෙකුව පැණවිය හැකි ආකාරයේ යම් කිසි ආයතනයක් තිබෙනවා ද යන්න යි. සමහරවිට මෙම ප්‍රශ්නය අසන්නට පෙළඹී ඇත්තේ අතීත බුදුවරයන් වහන්සේලා ගැන බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කරන විස්මිත තොරතුරු ලබාගන්නා, බුදුවරුන්ට ම පමණක් සුවිශේෂී වූ පුබ්බේනිවාස ඤාණය ගැන ඇති අනවබෝධය නිසා විය හැකිය. අනෙක් ශ්‍රාවකයන් හට පුබ්බේනිවාස ඤාණය ලද හැකි වුව ද එය බුදුවරයෙකුගේ ඤාණය හා කිසිසේත් සම කළ නොහැකියි. එනිසා මේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය තුළ තිබෙන්නේ ඒ අතීත බුදුවරයන් වහන්සේලා විසින් අවබෝධ කරන ලද ආයතන හය අනිත්‍ය භාවයට පත් වී නිරුද්ධ වී ගිය හෙයින් ඒ ආයතන ඔස්සේ බුදුවරයෙක් හෝ එවැන්නක් පැණවිය නොහැකි බවයි.

අට වෙනි ගිලාන වර්ගය යි.

එහි පිළිවෙළ උද්දානය යි.

ගිලාන සූත්‍ර දෙක කියන ලදී. එමෙන්ම රාධ සූත්‍ර තුනකි. අවිජ්ජා සූත්‍ර දෙකක් කියන ලදී. භික්ඛු සූත්‍රය, ලෝක සූත්‍රය, ඵග්ගුන සූත්‍රය යන මෙයින් මේ වර්ගය සමන්විතයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-8-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M