සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.8.8. සම්බහුල භික්ඛු සුත්තං

1.8.8. බොහෝ භික්ෂූන්ට වදාළ දෙසුම

එදා බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසුවා. ස්වාමීනී, මෙකරුණෙහිලා අන්‍යාගමික පිරිවැජියන් අපෙන් මේ විදිහට අසනවා. “එම්බා ඇවැත්නි, කවර කරුණක් අරුත කොට ගෙන ද ශ්‍රමණ ගෞතමයන්ගේ සසුනෙහි බඹසර වසන්නේ?” කියලා. ඔය විදිහට ඇසූ විට ස්වාමීනී, අපි ඒ අන්‍යාගමික පිරිවැජියන් හට පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “එම්බා ඇවැත්නි, දුක පිරිසිඳ දැනගැනීම අරුත කොටගෙන යි භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි බඹසර වසන්නේ” කියලා. ඉතින් ස්වාමීනී, ඔය විදිහට අසන විට ඔය විදිහට පිළිතුරු දෙන කල්හී ඇත්තෙන් ම අපි භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයක් ම පවසන අය වෙනවා ද? භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරන අය වෙනවා ද? ධර්මයට අනුකූල දහමක් පවසන අය වෙනවාද? කරුණු සහිතව කවරෙකුට හෝ වාද නංවා ගැරහිය යුතු තැනට පත් නොවෙනවා ද?

පින්වත් මහණෙනි, සැබැවින් ම ඔබ ඔය විදිහට අසන විට ඔය විදිහට පිළිතුරු දෙන කල්හී මා විසින් වදාළ දෙයක් ම පවසන අය වෙනවා. මට අභූතයෙන් චෝදනා නොකරන අය වෙනවා. ධර්මයට අනුකූල දහමක් පවසන අය වෙනවා. කරුණු සහිතව කවරෙකුට හෝ වාද නංවා ගැරහිය යුතු තැනට පත් නොවෙනවා. පින්වත් මහණෙනි, මාගේ සසුනෙහි බඹසර වසන්නේ දුක පිරිසිඳ දැකීම අරුත කොටගෙන ම යි. පින්වත් මහණෙනි, ඒ අන්‍යාගමික පිරිවැජියන් මේ අයුරින් ද අසන්ට පුළුවනි. “එම්බා ඇවැත්නි, යම් දෙයක පිරිසිඳ දැකීම පිණිස ශ්‍රමණ ගෞතමයන්ගේ සසුනෙහි බඹසර වසනවා නම්, ඒ දුක මොකක්ද?” පින්වත් මහණෙනි, ඔය විදිහට ඇසූ විට ඒ අන්‍යාගමික පිරිවැජියන් හට ඔබ පිළිතුරු දිය යුත්තේ මෙහෙමයි.

එම්බා ඇවැත්නි, ඇස යි දුක. එය පිරිසිඳ දැකීම පිණිස යි භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි බඹසර වසන්නේ. රූප යි දුක ….(පෙ)…. ඇසේ විඤ්ඤාණය යි දුක ….(පෙ)…. ඇසේ ස්පර්ශය යි දුක. එය පිරිසිඳ දැකීම පිණිස යි භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි බඹසර වසන්නේ. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක්සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් දුකයි. එය පිරිසිඳ දැකීම පිණිස යි භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි බඹසර වසන්නේ. ….(පෙ)….

දිව යි දුක. එය පිරිසිඳ දැකීම පිණිස යි භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි බඹසර වසන්නේ. රස යි දුක. එය පිරිසිඳ දැකීම පිණිස යි ….(පෙ)… දිවේ විඤ්ඤාණය යි දුක ….(පෙ)…. දිවේ ස්පර්ශය යි දුක ….(පෙ)…. දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක්සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් දුකයි. එය පිරිසිඳ දැකීම පිණිස යි භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි බඹසර වසන්නේ. ….(පෙ)….

මනස යි දුක. එය පිරිසිඳ දැකීම පිණිස යි භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි බඹසර වසන්නේ. මනසට අරමුණු වන දේ යි දුක. එය පිරිසිඳ දැකීම පිණිස යි ….(පෙ)…. මනෝ විඤ්ඤාණය යි දුක ….(පෙ)…. මනසේ ස්පර්ශයයි දුක ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක්සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් දුකයි. එය පිරිසිඳ දැකීම පිණිසයි භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි බඹසර වසන්නේ. පින්වත් මහණෙනි, ඔය විදිහට ඇසූවිට ඔබ ඒ අන්‍යාගමික පිරිවැජියන් හට පිළිතුරු දිය යුත්තේ මෙහෙමයි.

සාදු! සාදු!! සාදු!!!

සම්බහුල භික්ඛු සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-8-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M