සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.8.2. දුතිය ගිලාන සුත්තං

1.8.2. ගිලන් භික්ෂුවකට වදාළ දෙවෙනි දෙසුම

එදා එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා ….(පෙ)…. එකත්පස්ව වාඩි වුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළා. ස්වාමීනී, අසවල් විහාරයෙහි එක්තරා භික්ෂුවක් ඉන්නවා. ඔහු නවක කෙනෙක්. ප්‍රසිද්ධ නෑ. ලෙඩ වෙලයි ඉන්නේ. දුකට පත් වෙලා බොහෝ සේ ගිලන්වයි ඉන්නේ. ඉතින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඒ භික්ෂුව සිටින තැනට අනුකම්පාව උපදවාගෙන වැඩමවා වදාරණ සේක් නම් ඉතා හොඳයි.

එතකොට භාග්‍යවතුන් වහන්සේ නවක පැවිද්දෙක් ය යන කරුණ අසා, ගිලන් වී සිටින බවත්, අප්‍රසිද්ධ භික්ෂුවක් බවත් යන මෙය දැනගෙන ඒ භික්ෂුව සිටි තැනට වැඩමවා වදාළා. ඒ භික්ෂුව දුරින් ම වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේව දැක්කා. දැකලා ඇඳෙන් නැගිටින්ට උත්සාහ කළා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවට මෙසේ වදාළා. “පින්වත් භික්ෂුව, කමක් නෑ ඔබ ඇඳෙන් නැගිටින්න මහන්සි වෙන්ට එපා. මේ ආසන පණවලා තියෙනවා නොවැ. මං ඒ ආසනයක වාඩි වෙන්නම්” භාග්‍යවතුන් වහන්සේ පණවන ලද අසුනක වැඩසිටියා. වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවගෙන් මෙකරුණ විමසා වදාළා.

පින්වත් භික්ෂුව, කොහොමද? ඔබට ඉවසිය හැකිද? කොහොමද පහසුවෙන් යැපිය හැකි ද? කොහොමද දුක් වේදනා අඩු වීමක් තියෙනවා නේද? වැඩිවීමක් නෑ නේද? අඩුවීමක් ම මිසක් වැඩිවීමක් පෙනෙන්නේ නෑ නේද?

ස්වාමීනී, මට ඉවසන්ට අමාරුයි. පහසුවෙන් යැපෙන්ටත් අමාරුයි. මට බොහෝ දුක් වේදනා වැඩි වෙනවා. අඩුවීමක් නෑ. වැඩිවීමක් මිසක් අඩුවීමක් පෙනෙන්නේ නෑ.

පින්වත් භික්ෂුව, ඔබට කිසියම් කුකුසක් නැද්ද? කිසියම් විපිළිසර බවක් නැද්ද? අනේ ස්වාමීනී, මට බොහෝ කුකුස් තියෙනවා. බොහෝ විපිළිසර තියෙනවා.

පින්වත් භික්ෂුව, ඒ කොහොමද? තමන්ට සීලයෙන් චෝදනා කරන්නේ නෑ නේද? ස්වාමීනී, මට සීලයෙන් චෝදනා කිරීමක් නෑ.

ඉතින් පින්වත් භික්ෂුව, තමාට සීලයෙන් චෝදනා නොකරන එකේ නැවත මොන කරුණකට ද ඔබ තුළ කුකුස් ඇති වන්නේ? විපිළිසරය මොකක් ද? ස්වාමීනී, මං සීලයෙන් පමණක් විසුද්ධියට පත් වීම අරුත කොට භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසූ බවක් දන්නේ නෑ.

පින්වත් භික්ෂුව, මා විසින් සීලයෙන් පමණක් විසුද්ධියට පත්වීම අරුත කොට දහම් දෙසූ බව ඔබ දන්නේ නැත්නම්, මා විසින් කුමක් අරුත කොට දහම් දෙසූ බවක් දැනගෙන ද ධර්මයෙහි හැසිරෙන්නේ? ස්වාමීනී, උපාදාන රහිතව පිරිනිවන් පෑම අරුත කොටගෙන භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් දෙසන ලද බවයි මා දන්නේ.

සාදු ! සාදු ! පින්වත් භික්ෂුව, උපාදාන රහිතව පිරිනිවන් පෑම අරුත කොටගෙන මා විසින් දහම් දෙසන ලද බව ඔබ දැන සිටීම නම් ඉතා යහපති. පින්වත් භික්ෂුව, මා විසින් දහම් දෙසන ලද්දේ උපාදාන රහිතව පිරිනිවන් පෑම අරුත කොටගෙන ම යි.

පින්වත් භික්ෂුව, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? ඇස නිත්‍ය යි ද? අනිත්‍ය යි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය “මේක මගේ, මේක තමයි මම, මේ තමයි මගේ ආත්මය” වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත. රූප නිත්‍ය යි ද? අනිත්‍ය යි ද? ස්වාමීනී, අනිත්‍ය යි ….(පෙ)…. ඇසේ විඤ්ඤාණය ….(පෙ)…. ඇසේ ස්පර්ශය ….(පෙ)…. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත බවක් වේවා යම් විඳීමක් ඇද්ද එයත් ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත බවක් වේවා යම් විඳීමක් ඇද්ද එයත් නිත්‍යයි ද? අනිත්‍ය යි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය “මේක මගේ, මේක තමයි මම, මේ තමයි මගේ ආත්මය” වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත.

පින්වත් භික්ෂුව, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට ඇස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. රූප ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. ඇසේ විඤ්ඤාණය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. ඇසේ ස්පර්ශය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්නම් ඒ ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධය තුළින් ම කලකිරෙනවා. ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්නම් ඒ ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කලකිරුණු විට ඒ කෙරෙහි තිබුණු ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වූ බවට අවබෝධ ඤාණය ඇති වෙනවා. “ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන පිණිස කළ යුතු දෙය කළා. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම” යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. සතුටු සිතින් යුතු ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය සතුටින් පිළිගත්තා. මේ දෙසුම වදාරණ කල්හී ඒ භික්ෂුවගේ හිත කිසිවකට නොබැඳී ආශ්‍රවයන්ගෙන් නිදහස් වුණා. (අරහත්වයට පත් වුණා)

සාදු! සාදු!! සාදු!!!

දුතිය ගිලාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-8-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M