සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.8.3. අනිච්ච සුත්තං

1.8.3. අනිත්‍ය ගැන වදාළ දෙසුම

එදා ආයුෂ්මත් රාධ තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් රාධ තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මා හට සංක්ෂේපයෙන් ශ්‍රී සද්ධර්මය වදාරණ සේක් නම් මැනවි. එතකොට මට භාග්‍යවතුන් වහන්සේගෙන් යම් ධර්මයක් අසා දැනගෙන හුදෙකලා වෙලා, පිරිසෙන් වෙන් වෙලා, අප්‍රමාදීව, කෙලෙස් තවන වීරිය ඇතිව, දහමට දිවි පුදා වාසය කරන්නට පුළුවනි.

පින්වත් රාධ, යමක් අනිත්‍ය නම් අන්න ඒ ගැන තිබෙන ඔබේ කැමැත්තයි ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් රාධ, කුමක්ද අනිත්‍ය? පින්වත් රාධ, ඇස අනිත්‍යයි. ඒ ගැන තිබෙන ඔබේ කැමැත්ත යි ප්‍රහාණය කළ යුත්තේ. රූප අනිත්‍යයි. ඒ ගැන තිබෙන ඔබේ කැමැත්ත යි ප්‍රහාණය කළ යුත්තේ. ඇසේ විඤ්ඤාණය අනිත්‍යයි. ඒ ගැන තිබෙන ඔබේ කැමැත්ත යි ප්‍රහාණය කළ යුත්තේ. ඇසේ ස්පර්ශය අනිත්‍යයි. ඒ ගැන තිබෙන ඔබේ කැමැත්ත යි ප්‍රහාණය කළ යුත්තේ. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් කිසි විඳීමක් ඇද්ද එයත් අනිත්‍යයි. ඒ ගැන තිබෙන ඔබේ කැමැත්ත යි ප්‍රහාණය කළ යුත්තේ ….(පෙ)….

දිව අනිත්‍යයි. ඒ ගැන තිබෙන ඔබේ කැමැත්ත යි ප්‍රහාණය කළ යුත්තේ. රස අනිත්‍ය යි ….(පෙ)…. දිවේ විඤ්ඤාණය අනිත්‍ය යි ….(පෙ)…. දිවේ ස්පර්ශය අනිත්‍ය යි ….(පෙ)…. දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් කිසි විඳීමක් ඇද්ද එයත් අනිත්‍යයි. ඒ ගැන තිබෙන ඔබේ කැමැත්ත යි ප්‍රහාණය කළ යුත්තේ ….(පෙ)….

මනස අනිත්‍යයි. ඒ ගැන තිබෙන ඔබේ කැමැත්ත යි ප්‍රහාණය කළ යුත්තේ. මනසට අරමුණු වන දේ අනිත්‍ය යි ….(පෙ)…. මනසේ විඤ්ඤාණය අනිත්‍ය යි ….(පෙ)…. මනසේ ස්පර්ශය අනිත්‍ය යි ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් කිසි විඳීමක් ඇද්ද එයත් අනිත්‍යයි. ඒ ගැන තිබෙන ඔබේ කැමැත්ත යි ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් රාධ, යමක් අනිත්‍ය නම් අන්න ඒ ගැන තිබෙන ඔබේ කැමැත්තයි ප්‍රහාණය කළ යුත්තේ.

සාදු! සාදු!! සාදු!!!

අනිච්ච සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-8-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M