සැවැත් නුවර දී ….
එදා එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩි වුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළා.
ස්වාමීනී, අසවල් විහාරයෙහි එක්තරා භික්ෂුවක් ඉන්නවා. ඔහු නවක කෙනෙක්. ප්‍රසිද්ධ නෑ. ලෙඩ වෙලයි ඉන්නේ. දුකට පත් වෙලා බොහෝ සේ ගිලන්වයි ඉන්නේ. ඉතින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඒ භික්ෂුව සිටින තැනට අනුකම්පාව උපදවාගෙන වැඩමවා වදාරණ සේක් නම් ඉතා හොඳයි.
එතකොට භාග්‍යවතුන් වහන්සේ නවක පැවිද්දෙක් ය යන කරුණ අසා ගිලන් වී සිටින බවත්, අප්‍රසිද්ධ භික්ෂුවක් බවත් යන මෙය දැනගෙන ඒ භික්ෂුව සිටි තැනට වැඩමවා වදාළා. ඒ භික්ෂුව දුරින් ම වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේව දැක්කා. දැකලා ඇඳෙන් නැගිටින්ට උත්සාහ කළා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවට මෙසේ වදාළා. “පින්වත් භික්ෂුව, කමක් නෑ ඔබ ඇඳෙන් නැගිටින්ට මහන්සි වෙන්න එපා. මේ ආසන පණවලා තියෙනවා නොවැ. මං ඒ ආසනයක වාඩි වෙන්නම්.” භාග්‍යවතුන් වහන්සේ පණවන ලද අසුනක වැඩ සිටියා. වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවගෙන් මෙකරුණ විමසා වදාළා.
පින්වත් භික්ෂුව, කොහොමද? ඔබට ඉවසිය හැකිද? කොහොමද පහසුවෙන් යැපිය හැකි ද? කොහොමද දුක් වේදනා අඩු වීමක් තියෙනවා නේද? වැඩිවීමක් නෑ නේද? අඩුවීමක් ම මිසක් වැඩිවීමක් පෙනෙන්නේ නෑ නේද?
ස්වාමීනී, මට ඉවසන්ට අමාරුයි. පහසුවෙන් යැපෙන්ටත් අමාරුයි. මට බොහෝ දුක් වේදනා වැඩි වෙනවා. අඩුවීමක් නෑ. වැඩිවීමක් මිසක් අඩුවීමක් පෙනෙන්නේ නෑ.
පින්වත් භික්ෂුව, ඔබට කිසියම් කුකුසක් නැද්ද? කිසියම් විපිළිසර බවක් නැද්ද? අනේ ස්වාමීනී, මට බොහෝ කුකුස් තියෙනවා. බොහෝ විපිළිසර තියෙනවා.
පින්වත් භික්ෂුව, ඒ කොහොමද ? තමන්ට සීලයෙන් චෝදනා කරන්නේ නෑ නේද? ස්වාමීනී, මට සීලයෙන් චෝදනා කිරීමක් නෑ.
ඉතින් පින්වත් භික්ෂුව, තමාට සීලයෙන් චෝදනා නොකරන එකේ නැවත මොන කරුණකට ද ඔබ තුළ කුකුස් ඇති වන්නේ? විපිළිසරය මොකක් ද? ස්වාමීනී, මං සීලයෙන් පමණක් විසුද්ධියට පත් වීම අරුත කොට භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසූ බවක් දන්නේ නෑ.
පින්වත් භික්ෂුව, මා විසින් සීලයෙන් පමණක් විසුද්ධියට පත්වීම අරුත කොට දහම් දෙසූ බව ඔබ දන්නේ නැත්නම්, මා විසින් කුමක් අරුත කොට දහම් දෙසූ බවක් දැනගෙන ද ධර්මයෙහි හැසිරෙන්නේ? ස්වාමීනී, රාගය දුරු කිරීම අරුත කොට භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් දෙසන ලද බවයි මා දන්නේ.
සාදු ! සාදු ! පින්වත් භික්ෂුව, රාගය දුරු කිරීම අරුත කොට මා විසින් දහම් දෙසන ලද බව ඔබ දැන සිටීම නම් ඉතා යහපති. පින්වත් භික්ෂුව, මා විසින් දහම් දෙසන ලද්දේ රාගය දුරු කිරීම අරුත කොටගෙන ම යි.
පින්වත් භික්ෂුව, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? ඇස නිත්‍ය යි ද? අනිත්‍ය යි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය “මේක මගේ, මේක තමයි මම, මේ තමයි මගේ ආත්මය” වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත ….(පෙ)….
දිව නිත්‍ය යි ද? අනිත්‍ය යි ද? ස්වාමීනී, අනිත්‍ය යි ….(පෙ)…. මනස නිත්‍ය යි ද? අනිත්‍ය යි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය “මේක මගේ, මේක තමයි මම, මේ තමයි මගේ ආත්මය” වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත.
පින්වත් භික්ෂුව, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට ඇස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කන ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. නාසය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. දිව ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. මනස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කලකිරුණු විට ඒ කෙරෙහි තිබුණ ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වූ බවට අවබෝධ ඤාණය ඇති වෙනවා. “ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන පිණිස කළ යුතු දෙය කළා. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම” යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. සතුටු සිතින් යුතු ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය සතුටින් පිළිගත්තා. මේ දෙසුම වදාරණ කල්හී ඒ භික්ෂුවට “හේතූන්ගෙන් හටගන්නා වූ යම් කිසි දෙයක් ඇත්නම්, ඒ සෑම දෙයක් ම හේතූන් නැති වීමෙන් නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්ත” යැයි කියලා කෙලෙස් රහිත වූ අවිද්‍යා මලකඩ රහිත වූ දහම් ඇස පහළ වුණා.
සාදු! සාදු!! සාදු!!!
ගිලාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-8-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M