පින්වත් මහණෙනි, යම් කිසි භික්ෂුවක් ස්පර්ශ ආයතන හයේ හටගැනීමත්, නැතිවීමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ ආකාරයෙන් ම දන්නේ නැතිනම්, ඒ භික්ෂුව විසින් බඹසර නම් වසලා නෑ. ඔහු මේ ධර්ම විනයෙන් ඈත් වෙලා ම යි ඉන්නේ.
මෙසේ වදාළ විට එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළා. “අනේ ස්වාමීනී, ඔය ආයතන හය පිළිබඳව (අවබෝධය ගැන) මං කිසිසේත් සෑහීමකට පත් වෙන්නේ නෑ. අනේ ස්වාමීනී, මං ස්පර්ශ ආයතන හයේ හටගැනීමත්, නැතිවීමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ ආකාරයෙන් ම දන්නේ නෑ.
පින්වත් භික්ෂුව, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? ඇස නිත්‍ය යි ද? අනිත්‍ය යි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය “මේක මගේ, මේක තමයි මම, මේ තමයි මගේ ආත්මය” වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත ….(පෙ)….
දිව නිත්‍ය යි ද? අනිත්‍ය යි ද? ස්වාමීනී, අනිත්‍ය යි ….(පෙ)…. මනස නිත්‍ය යි ද? අනිත්‍ය යි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය “මේක මගේ, මේක තමයි මම, මේ තමයි මගේ ආත්මය” වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත.
පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට ඇස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කන ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. නාසය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. දිව ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. මනස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කලකිරුණු විට ඒ කෙරෙහි තිබුණ ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වූ බවට අවබෝධ ඤාණය ඇති වෙනවා. “ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන පිණිස කළ යුතු දෙය කළා. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම” යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
තතිය ඡඵස්සායතන සූත්‍රය නිමා විය.
සත්වෙනි මිගජාල වර්ගය යි.
එහි පිළිවෙළ උද්දානය යි.
මිගජාල සූත්‍ර දෙකකි, සමිද්ධි සූත්‍ර හතරකි, උපසේන සූත්‍රය, උපවාණ සූත්‍රය හා ඡඵස්සායතන සූත්‍ර තුනකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-7-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M