සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.7.10. දුතිය ඡඵස්සායතන සුත්තං

1.7.10. ස්පර්ශ ආයතන හය ගැන වදාළ දෙවෙනි දෙසුම

පින්වත් මහණෙනි, යම් කිසි භික්ෂුවක් ස්පර්ශ ආයතන හයේ හටගැනීමත්, නැතිවීමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ ආකාරයෙන් ම දන්නේ නැතිනම්, ඒ භික්ෂුව විසින් බඹසර නම් වසලා නෑ. ඔහු මේ ධර්ම විනයෙන් ඈත් වෙලා ම යි ඉන්නේ.

මෙසේ වදාළ විට එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළා. “අනේ ස්වාමීනී, ඔය ආයතන හය පිළිබඳව (අවබෝධය ගැන) මං සෑහීමකට පත් වෙන්නේ නෑ. අනේ ස්වාමීනී, මං ස්පර්ශ ආයතන හයේ හටගැනීමත්, නැතිවීමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ ආකාරයෙන් ම දන්නේ නෑ.

පින්වත් භික්ෂුව, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? ඇස “මේක මගේ නොවෙයි, මේක මමත් නොවෙයි, මේක මගේ ආත්මයත් නොවෙයි” කියලාද ඔබ දකින්නේ? එසේය, ස්වාමීනී. ඉතා හොඳයි පින්වත් භික්ෂුව. ඔය කරුණ පිළිබඳව පින්වත් භික්ෂුව, ඔබට ඇස “මේක මගේ නොවෙයි, මේක මමත් නොවෙයි, මේක මගේ ආත්මයත් නොවෙයි” කියලා ඔය විදිහට ඒ ආකාරයෙන් ම දියුණු කරපු ප්‍රඥාවකින් පැහැදිලි දැක්මක් ඇති වෙනවා නම්, ඔය විදිහට ඔබට මේ පළමුවෙනි ස්පර්ශ ආයතනය යළි පුනර්භවයක් ඇති නොවීම පිණිස ප්‍රහාණය වෙලා යනවා ….(පෙ)….

දිව “මේක මගේ නොවෙයි, මේක මමත් නොවෙයි, මේක මගේ ආත්මයත් නොවෙයි” කියලා ද ඔබ දකින්නේ? එසේය, ස්වාමීනී. ඉතා හොඳයි පින්වත් භික්ෂුව. ඔය කරුණ පිළිබඳව පින්වත් භික්ෂුව, ඔබට දිව “මේක මගේ නොවෙයි, මේක මමත් නොවෙයි, මේක මගේ ආත්මයත් නොවෙයි” කියලා ඔය විදිහට ඒ ආකාරයෙන් ම දියුණු කරපු ප්‍රඥාවකින් පැහැදිලි දැක්මක් ඇති වෙනවා නම්, ඔය විදිහට ඔබට මේ හතරවෙනි ස්පර්ශ ආයතනය යළි පුනර්භවයක් ඇති නොවීම පිණිස ප්‍රහාණය වෙලා යනවා ….(පෙ)….

මනස “මේක මගේ නොවෙයි, මේක මමත් නොවෙයි, මේක මගේ ආත්මයත් නොවෙයි” කියලා ද ඔබ දකින්නේ? එසේය, ස්වාමීනී. ඉතා හොඳයි පින්වත් භික්ෂුව. ඔය කරුණ පිළිබඳව පින්වත් භික්ෂුව, ඔබට මනස “මේක මගේ නොවෙයි, මේක මමත් නොවෙයි, මේක මගේ ආත්මයත් නොවෙයි” කියලා ඔය විදිහට ඒ ආකාරයෙන් ම දියුණු කරපු ප්‍රඥාවකින් පැහැදිලි දැක්මක් ඇති වෙනවා නම්, ඔය විදිහට ඔබට මේ හයවෙනි ස්පර්ශ ආයතනය යළි පුනර්භවයක් ඇති නොවීම පිණිස ප්‍රහාණය වෙලා යනවා.

සාදු! සාදු!! සාදු!!!

දුතිය ඡඵස්සායතන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-7-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M