එතකොට ආයුෂ්මත් උපවාණ තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් උපවාණ තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළා. “ස්වාමීනී, ධර්මය සන්දිට්ඨික යි, ධර්මය සන්දිට්ඨික යි, කියලා කියනවා. ස්වාමීනී, කවර කරුණු මත ද ධර්මය සන්දිට්ඨික (මෙහිදී ම දැක්ක හැකි) වන්නේ. අකාලික (ඕනෑම කාලයකදී දැක්ක හැකි) වන්නේ. ඒහිපස්සික (ඇවිත් විමසා බලන්න යැයි පැවසිය හැකි) වන්නේ. ඕපනයික (තමා තුළට පමුණුවා ගෙන දැක්ක හැකි) වන්නේ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති (නැණවතුන් විසින් තම තම නැණ පමණින් දත යුතු) වන්නේ?”
පින්වත් උපවාණ, මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැකලා රූපයට සංවේදී වෙනවා. රූපය නිසා ඇති වන රාගයටත් සංවේදී වෙනවා. එතකොට තමා තුළ රූප පිළිබඳව රාගය තිබෙන විට මා තුළ රූප කෙරෙහි රාගය තියෙනවා කියලා දැනගන්නවා. පින්වත් උපවාණ, භික්ෂුව ඇසින් රූපයක් දැකලා රූපයට සංවේදී වෙනවා නම්, රූපය නිසා ඇති වන රාගයටත් සංවේදී වෙනවා නම්, එතකොට තමා තුළ රූප පිළිබඳව රාගය තිබෙන විට මා තුළ රූප කෙරෙහි රාගය තියෙනවා කියලා දැනගන්නවා නම්, පින්වත් උපවාණ, ඔය විදිහටත් ධර්මය සන්දිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී වෙනවා ….(පෙ)….
නැවත අනිකක් කියනවා නම්, පින්වත් උපවාණ, මෙහිලා භික්ෂුව දිවෙන් රස විඳලා රසයට සංවේදී වෙනවා. රසය නිසා ඇති වන රාගයටත් සංවේදී වෙනවා. එතකොට තමා තුළ රස පිළිබඳව රාගය තිබෙන විට මා තුළ රස කෙරෙහි රාගය තියෙනවා කියලා දැනගන්නවා. පින්වත් උපවාණ, භික්ෂුව දිවෙන් රසයක් විඳලා රසයට සංවේදී වෙනවා නම්, රසය නිසා ඇති වන රාගයටත් සංවේදී වෙනවා නම්, එතකොට තමා තුළ රස පිළිබඳව රාගය තිබෙන විට මා තුළ රස කෙරෙහි රාගය තියෙනවා කියලා දැනගන්නවා නම්, පින්වත් උපවාණ, ඔය විදිහටත් ධර්මය සන්දිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී වෙනවා ….(පෙ)….
නැවත අනිකක් කියනවා නම්, පින්වත් උපවාණ, මෙහිලා භික්ෂුව මනසින් අරමුණු දැනගෙන ඒ අරමුණුවලට සංවේදී වෙනවා. අරමුණු නිසා ඇති වන රාගයටත් සංවේදී වෙනවා. එතකොට තමා තුළ අරමුණු පිළිබඳව රාගය තිබෙන විට මා තුළ අරමුණු කෙරෙහි රාගය තියෙනවා කියලා දැනගන්නවා. පින්වත් උපවාණ, භික්ෂුව මනසින් අරමුණු දැනගෙන ඒ අරමුණුවලට සංවේදී වෙනවා නම්, අරමුණු නිසා ඇති වන රාගයටත් සංවේදී වෙනවා නම්, එතකොට තමා තුළ අරමුණු පිළිබඳව රාගය තිබෙන විට මා තුළ අරමුණු කෙරෙහි රාගය තියෙනවා කියලා දැනගන්නවා නම්, පින්වත් උපවාණ, ඔය විදිහටත් ධර්මය සන්දිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී වෙනවා.
පින්වත් උපවාණ, මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැකලා රූපයට සංවේදී වෙනවා. නමුත් රූපය නිසා ඇති වෙන රාගයකට සංවේදී වෙන්නේ නෑ. එතකොට තමා තුළ රූප පිළිබඳව රාගය නොමැති විට මා තුළ රූප කෙරෙහි රාගය නැත කියලා දැනගන්නවා. පින්වත් උපවාණ, භික්ෂුව ඇසින් රූපයක් දැකලා රූපයට සංවේදී වෙනවා නම් රූපය නිසා ඇති වෙන රාගයකට සංවේදී වෙන්නේ නැත්නම්, එතකොට තමා තුළ රූප පිළිබඳව රාගය නොමැති විට මා තුළ රූප කෙරෙහි රාගය නැත කියලා දැනගන්නවා නම්, පින්වත් උපවාණ, ඔය විදිහටත් ධර්මය සන්දිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී වෙනවා ….(පෙ)….
නැවත අනෙකක් කියනවා නම්, පින්වත් උපවාණ, මෙහිලා භික්ෂුව දිවෙන් රසයක් විඳලා රසයට සංවේදී වෙනවා. නමුත් රසය නිසා ඇති වෙන රාගයට සංවේදී වෙන්නේ නෑ. එතකොට තමා තුළ රස පිළිබඳව රාගය නොමැති විට මා තුළ රස කෙරෙහි රාගය නැත කියලා දැනගන්නවා. පින්වත් උපවාණ, භික්ෂුව දිවෙන් රසයක් විඳලා රසයට සංවේදී වෙනවා නම් රසය නිසා ඇති වෙන රාගයකට සංවේදී වෙන්නේ නැත්නම්, එතකොට තමා තුළ රස පිළිබඳව රාගය නොමැති විට මා තුළ රස කෙරෙහි රාගය නැත කියලා දැනගන්නවා නම්, පින්වත් උපවාණ, ඔය විදිහටත් ධර්මය සන්දිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී වෙනවා ….(පෙ)….
නැවත අනෙකක් කියනවා නම්, පින්වත් උපවාණ, මෙහිලා භික්ෂුව මනසින් අරමුණු දැන ඒ අරමුණුවලට සංවේදී වෙනවා. නමුත් අරමුණු නිසා ඇති වෙන රාගයකට සංවේදී වෙන්නේ නෑ. එතකොට තමා තුළ අරමුණු පිළිබඳව රාගය නොමැති විට මා තුළ අරමුණු කෙරෙහි රාගය නැත කියලා දැනගන්නවා. පින්වත් උපවාණ, භික්ෂුව මනසින් අරමුණු දැන ඒ අරමුණුවලට සංවේදී වෙනවා නම් අරමුණු නිසා ඇති වෙන රාගයකට සංවේදී වෙන්නේ නැත්නම්, එතකොට තමා තුළ අරමුණු පිළිබඳව රාගය නොමැති විට මා තුළ අරමුණු කෙරෙහි රාගය නැත කියලා දැනගන්නවා නම්, පින්වත් උපවාණ, ඔය විදිහටත් ධර්මය සන්දිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
උපවාණ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-7-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M