සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.7.7. උපසේන සුත්තං

1.7.7. උපසේන තෙරුන් ගැන වදාළ දෙසුම

ඒ දිනවල ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේත්, ආයුෂ්මත් උපසේනයන් වහන්සේත් රජගහ නුවර සීතවනයේ සප්පසොණ්ඩික නම් පර්වත බෑවුමේ සෙනසුනක වැඩසිටියේ. ඔය කාලයේ දී ම ආයුෂ්මත් උපසේන තෙරුන්ගේ කයට භයානක විෂ සහිත සර්පයෙක් වැටුණා. (මෙයින් අදහස් කරන්නේ භයානක විෂ සහිත සර්පයෙකුගේ දෂ්ට කිරීමක් විය හැකි ය.)

එතකොට ආයුෂ්මත් උපසේන තෙරුන් භික්ෂූන් ඇමතුවා. “ප්‍රිය ආයුෂ්මතුනි, මා ළඟට එන්න. මේ කය බොල් වී මිටක් වගේ මෙතැන දී ම විසිරිලා යන්න කලින් ඇඳක තබාගෙන බැහැරට අරගෙන යන්න.” ඒ විදිහට පැවසූ විට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ආයුෂ්මත් උපසේන තෙරුන්ට මෙකරුණ පැවසුවා. “අපි නම් ආයුෂ්මත් උපසේනයන්ගේ ශරීරයෙහි කිසි වෙනසක්වත්, ඉන්ද්‍රියයන්ගේ විපරිණාමයක්වත් දකින්නේ නෑ. නමුත් ආයුෂ්මත් උපසේනයන් මෙහෙම කියනවා. “ප්‍රිය ආයුෂ්මතුනි, මා ළඟට එන්න. මේ කය බොල් වී මිටක් වගේ මෙතැන දී ම විසිරිලා යන්න කලින් ඇඳක තබාගෙන බැහැරට අරගෙන යන්න.” කියලා.

ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, යම් කෙනෙකුට මේ විදිහට හැඟීමක් තිබුණා නම්, ඒ කියන්නේ “ඇස මම යි කියලා හෝ ඇස මගේ කියලා හෝ, කන මම යි කියලා හෝ කන මගේ කියලා හෝ, නාසය මම යි කියලා හෝ නාසය මගේ කියලා හෝ, දිව මම යි කියලා හෝ දිව මගේ කියලා හෝ, කය මම යි කියලා හෝ කය මගේ කියලා හෝ, මනස මම යි කියලා හෝ මනස මගේ” කියලා හෝ හැඟීමක් තිබුණා නම් ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, අන්න ඒ කෙනාගේ කයට නම් වෙනසක් ඇතිවෙන්ට පුළුවනි. ඉන්ද්‍රියයන්ගේ විපරිණාමයක් ඇතිවෙන්ට පුළුවනි. නමුත් ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, මා තුළ මෙවැනි අදහසක් නෑ. ඒ කියන්නේ “ඇස මම යි කියලා හෝ ඇස මගේ කියලා හෝ, කන මම යි කියලා හෝ කන මගේ කියලා හෝ, නාසය මම යි කියලා හෝ නාසය මගේ කියලා හෝ, දිව මම යි කියලා හෝ දිව මගේ කියලා හෝ, කය මම යි කියලා හෝ කය මගේ කියලා හෝ, මනස මම යි කියලා හෝ මනස මගේ” කියලා හෝ අදහසක් නෑ. ඉතින් ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඒ මට කය පිළිබඳ වෙනසක් හෝ ඉඳුරන්ගේ විපරිණාමයක් හෝ මොනවාට ඇති වෙන්ට ද?

ඒක එහෙම තමයි. ප්‍රිය ආයුෂ්මත් උපසේනයන් හට බොහෝ කලක් මුළුල්ලේ මම, මගේ ය යන දෝංකාරය ඇති මාන අනුසය මුළුමණින් ම ප්‍රහාණය වෙලා නොවැ තියෙන්නේ. ඒ නිසා තමයි ආයුෂ්මත් උපසේනයන් හට ඔවැනි හැඟීම් ඇති නොවන්නේ. ඒ කියන්නේ “ඇස මම යි කියලා හෝ ඇස මගේ කියලා හෝ ….(පෙ)…. දිව මම යි කියලා හෝ දිව මගේ කියලා හෝ, ….(පෙ)…. මනස මම යි කියලා හෝ මනස මගේ” කියලා හෝ අදහසක් නැත්තේ.

ඉතින් ඒ භික්ෂූන් ආයුෂ්මත් උපසේන තෙරුන්ගේ කය ඇඳක තබා ගෙන බැහැරට ගෙන ගියා. එතකොට ආයුෂ්මත් උපසේන තෙරුන්ගේ කය එතැන දී ම බොල් වී මිටක් වගේ විසිරිලා ගියා. (පිරිනිවන් පෑවා)

සාදු! සාදු!! සාදු!!!

උපසේන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-7-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M