සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.7.3. සමිද්ධි – මාරපඤ්හ සුත්තං

1.7.3. සමිද්ධි තෙරුන් මාරයා ගැන ඇසූ ප්‍රශ්නයට වදාළ දෙසුම

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමයේ. එදා ආයුෂ්මත් සමිද්ධි තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩි වුණ ආයුෂ්මත් සමිද්ධි තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළා. “ස්වාමීනී, මාරයා, මාරයා යැයි කියනවා. ස්වාමීනී, මාරයා හෝ මාරයා යන පැණවීම හෝ ඇති වන්නේ කවර කරුණු මත ද ?”

පින්වත් සමිද්ධි, යම් තැනක ඇස තිබේ නම්, රූප තිබේ නම්, ඇසේ විඤ්ඤාණය තිබේ නම්, ඇසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ තිබේ නම්, අන්න එතැන තමයි මාරයා සිටීම හෝ මාර පැණවීම තිබෙන්නේ ….(පෙ)…. දිව තිබේ නම්, රස තිබේ නම්, දිවේ විඤ්ඤාණය තිබේ නම්, දිවේ විඤ්ඤාණයෙන් දත යුතු දේ තිබේ නම්, අන්න එතැන තමයි මාරයා සිටීම හෝ මාර පැණවීම තිබෙන්නේ ….(පෙ)…. මනස තිබේ නම්, මනසට අරමුණු වන දේ තිබේ නම්, මනසේ විඤ්ඤාණය තිබේ නම්, මනසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ තිබේ නම්, අන්න එතැන තමයි මාරයා සිටීම හෝ මාර පැණවීම තිබෙන්නේ.

පින්වත් සමිද්ධි, යම් තැනක ඇස නැත්නම්, රූප නැත්නම්, ඇසේ විඤ්ඤාණය නැත්නම්, ඇසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ නැත්නම්, අන්න එතැන තමයි මාරයා නැති තැන හෝ මාර පැණවීම නොතිබෙන තැන ….(පෙ)…. දිව නැත්නම්, රස නැත්නම්, දිවේ විඤ්ඤාණය නැත්නම්, දිවේ විඤ්ඤාණයෙන් දත යුතු දේ නැත්නම්, අන්න එතැන තමයි මාරයා නැති තැන හෝ මාර පැණවීම නොතිබෙන තැන ….(පෙ)…. මනස නැත්නම්, මනසට අරමුණු වන දේ නැත්නම්, මනසේ විඤ්ඤාණය නැත්නම්, මනසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ නැත්නම්, අන්න එතැන තමයි මාරයා නැති තැන හෝ මාර පැණවීම නො තිබෙන තැන.

සාදු! සාදු!! සාදු!!!

සමිද්ධි – මාරපඤ්හ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-7-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M