සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.7.2. දුතිය මිගජාල සුත්තං

1.7.2. මිගජාල තෙරුන්ට වදාළ දෙවෙනි දෙසුම

එකල්හී ආයුෂ්මත් මිගජාල තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් මිගජාල තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මා හට සංක්ෂේපයෙන් ශ්‍රී සද්ධර්මය වදාරණ සේක් නම් මැනැවි. එතකොට මට භාග්‍යවතුන් වහන්සේගෙන් යම් ධර්මයක් අසා දැනගෙන හුදෙකලා වෙලා, පිරිසෙන් වෙන් වෙලා, අප්‍රමාදීව, කෙලෙස් තවන වීරිය ඇතිව, දහමට දිවි පුදා වාසය කරන්ට පුළුවනි.

පින්වත් මිගජාල, ඇසෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම හටගන්නා රූප තියෙනවා. ඉතින් භික්ෂුව එය සතුටින් පිළිගන්නවා, එහි ගුණ කියනවා, එහි බැසගෙන සිටිනවා. එතකොට එය සතුටින් පිළිගනිද්දී, එහි ගුණ කියද්දී, එහි බැසගෙන සිටිද්දී ඔහුට උපදින්නේ තණ්හාවයි. පින්වත් මිගජාල, තණ්හාව හටගැනීමෙනුයි දුක හටගන්නේ කියලයි මා කියන්නේ ….(පෙ)….

පින්වත් මිගජාල, දිවෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම හටගන්නා රස තියෙනවා. ….(පෙ)…. මනසින් දත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම හටගන්නා අරමුණු තියෙනවා. ඉතින් භික්ෂුව එය සතුටින් පිළිගන්නවා, එහි ගුණ කියනවා, එහි බැසගෙන සිටිනවා. එතකොට එය සතුටින් පිළිගනිද්දී, එහි ගුණ කියද්දී, එහි බැසගෙන සිටිද්දී ඔහුට උපදින්නේ තණ්හාවයි. පින්වත් මිගජාල, තණ්හාව හටගැනීමෙනුයි දුක හටගන්නේ කියල යි මා කියන්නේ.

පින්වත් මිගජාල, ඇසෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම හටගන්නා රූප තියෙනවා. ඉතින් භික්ෂුව එය සතුටින් පිළිගන්නේ නෑ, එහි ගුණ කියන්නේ නෑ, එහි බැසගෙන ඉන්නෙත් නෑ. එතකොට එය සතුටින් නො පිළිගනිද්දී, එහි ගුණ නොකියද්දී, එහි බැසගෙන නොසිටිද්දී ඔහුගේ තණ්හාව නිරුද්ධ වෙනවා. පින්වත් මිගජාල, තණ්හාව නිරුද්ධ වීමෙනුයි දුක නිරුද්ධ වෙන්නේ කියල යි මා කියන්නේ. ….(පෙ)….

පින්වත් මිගජාල, දිවෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම හටගන්නා රස තියෙනවා ….(පෙ)…. පින්වත් මිගජාල, මනසින් දැනගත යුතු වූ සිත් ඇද ගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම හටගන්නා අරමුණු තියෙනවා. ඉතින් භික්ෂුව එය සතුටින් පිළිගන්නේ නෑ, එහි ගුණ කියන්නේ නෑ, එහි බැසගෙන ඉන්නෙත් නෑ. එතකොට එය සතුටින් නො පිළිගනිද්දී, එහි ගුණ නොකියද්දී, එහි බැසගෙන නොසිටිද්දී ඔහුගේ තණ්හාව නිරුද්ධ වෙනවා. පින්වත් මිගජාල, තණ්හාව නිරුද්ධ වීමෙනුයි දුක නිරුද්ධ වෙන්නේ කියල යි මා කියන්නේ. එතකොට ආයුෂ්මත් මිගජාල තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙසුම සතුටින් පිළිගත්තා. අනුමෝදන් වුණා. අසුනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට පැදකුණු කොට පිටත් වුණා.

ඉතින් ආයුෂ්මත් මිගජාල තෙරුන් හුදෙකලා වුණා. පිරිසෙන් වෙන් වුණා. අප්‍රමාදී වුණා. කෙලෙස් තවන වීරියෙන් යුතු වුණා. දහමට දිවි පුදා ධර්මයේ හැසිරෙනකොට නොබෝ කලකින් ම යම් කුල පුත්‍රයෝ යම් කිසි ලොව්තුරු අපේක්ෂාවකින් මනා කොට ගිහි ජීවිතය අත් හැරලා බුදු සසුනේ පැවිදි වුණා ද, අන්න ඒ උත්තරීතර බඹසර පූර්ණත්වය වන අමා මහ නිවන මේ ජීවිතයෙහිදී ම විශේෂ ඤාණයකින් යුතුව අවබෝධ කරගෙන පැමිණ වාසය කළා. “ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කර ගත්තා. කළ යුතු දේ කළා. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම’යැයි අවබෝධ වුණා. ආයුෂ්මත් මිගජාල තෙරුන් එක්තරා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා.

සාදු! සාදු!! සාදු!!!

දුතිය මිගජාල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-7-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M