සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.7.1. මිගජාල සුත්තං

1.7.1. මිගජාල තෙරුන්ට වදාළ දෙසුම

සැවැත් නුවර දී ….

එකල්හී ආයුෂ්මත් මිගජාල තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩි වුන ආයුෂ්මත් මිගජාල තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළා.

“ස්වාමීනී, හුදෙකලාව වසනවා, හුදෙකලාව වසනවා” කියා කියනවා. ස්වාමීනී, හුදෙකලාව විසීම වන්නේ කවර කරුණු මත ද? දෙවැන්නෙක් සහිතව විසීම වන්නේ කවර කරුණු මත ද?

පින්වත් මිගජාල, ඇසෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම හටගන්නා රූප තියෙනවා. ඉතින් භික්ෂුව එය සතුටින් පිළිගන්නවා. එහි ගුණ කියනවා, එහි බැසගෙන සිටිනවා. එතකොට එය සතුටින් පිළිගනිද්දී, එහි ගුණ කියද්දී, එහි බැසගෙන සිටිද්දී ඔහුට උපදින්නේ තණ්හාවයි. තණ්හාව තියෙන කොට රාග සහිත වෙනවා. රාග සහිත වෙන කොට එයට එකතු වෙනවා. පින්වත් මිගජාල, ආශාවෙන් යුතුව කෙලෙස්වලට බැඳී එයට එකතු වී සිටින භික්ෂුවට තමයි දෙවැන්නෙක් සහිතව ඉන්නවා කියලා කියන්නේ ….(පෙ)….

පින්වත් මිගජාල, දිවෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම හටගන්නා රස තියෙනවා. ඉතින් භික්ෂුව එය සතුටින් පිළිගන්නවා. එහි ගුණ කියනවා, එහි බැසගෙන සිටිනවා. එතකොට එය සතුටින් පිළිගනිද්දී, එහි ගුණ කියද්දී, එහි බැසගෙන සිටිද්දී ඔහුට උපදින්නේ තණ්හාවයි. තණ්හාව තියෙන කොට රාග සහිත වෙනවා. රාග සහිත වෙන කොට එයට එකතු වෙනවා. පින්වත් මිගජාල, ආශාවෙන් යුතුව කෙලෙස්වලට බැඳී එයට එකතු වී සිටින භික්ෂුවට තමයි දෙවැන්නෙක් සහිතව ඉන්නවා කියලා කියන්නේ ….(පෙ)….

පින්වත් මිගජාල, මනසින් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම හටගන්නා අරමුණු තියෙනවා. ඉතින් භික්ෂුව එය සතුටින් පිළිගන්නවා. එහි ගුණ කියනවා, එහි බැසගෙන සිටිනවා. එතකොට එය සතුටින් පිළිගනිද්දී, එහි ගුණ කියද්දී, එහි බැසගෙන සිටිද්දී ඔහුට උපදින්නේ තණ්හාවයි. තණ්හාව තියෙන කොට රාග සහිත වෙනවා. රාග සහිත වෙන කොට එයට එකතු වෙනවා. පින්වත් මිගජාල, ආශාවෙන් යුතුව කෙලෙස්වලට බැඳී එයට එකතු වී සිටින භික්ෂුවට තමයි දෙවැන්නෙක් සහිතව ඉන්නවා කියලා කියන්නේ ….(පෙ)….

පින්වත් මිගජාල, ඔය විදිහට වාසය කරන භික්ෂුවක් අරණ්‍යවල, මහා වනාන්තරවල, ඈත දුර වන සෙනසුන්වල, අල්ප ශබ්ද ඇති, අල්ප ඝෝෂා ඇති, ජනයා නො ගැවසෙන, මිනිසුන්ගේ අප්‍රකට කටයුතුවලට යෝග්‍ය වූ, බණ භාවනාවට සුදුසු වූ තැන්වල කොයිතරම් හිටියත්, දෙවැන්නෙක් එක්කම වාසය කරනවා කියලයි කියන්නේ. එයට හේතුව කුමක්ද? ඔහුගේ දෙවැන්නා තණ්හාව නොවැ. ඒ තණ්හාව ප්‍රහීණ වෙලා නෑ නොවැ. ඒ නිසයි දෙවැන්නෙක් සහිතව වාසය කරනවා කියලා කියන්නේ.

පින්වත් මිගජාල, ඇසෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම හටගන්නා රූප තියෙනවා. ඉතින් භික්ෂුව එය සතුටින් පිළිගන්නේ නෑ. එහි ගුණ කියන්නේ නෑ. එහි බැසගෙන ඉන්නෙත් නෑ. එතකොට එය සතුටින් නො පිළිගනිද්දී, එහි ගුණ නො කියද්දී, එහි බැසගෙන නො සිටිද්දී ඔහුගේ තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නැති විට රාග සහිත වෙන්නේ නෑ. රාග සහිත නො වෙන විට එය හා එක් වෙන්නෙත් නෑ. පින්වත් මිගජාල, ආශාවෙන් යුතුව කෙලෙස්වලට බැඳී එයට එකතු නොවී සිටින භික්ෂුවට තමයි හුදෙකලාවේ ඉන්නවා කියලා කියන්නේ ….(පෙ)….

පින්වත් මිගජාල, දිවෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම හටගන්නා රස තියෙනවා. ඉතින් භික්ෂුව එය සතුටින් පිළිගන්නේ නෑ. එහි ගුණ කියන්නේ නෑ. එහි බැසගෙන ඉන්නෙත් නෑ. එතකොට එය සතුටින් නො පිළිගනිද්දී, එහි ගුණ නො කියද්දී, එහි බැසගෙන නො සිටිද්දී ඔහුගේ තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නැති විට රාග සහිත වෙන්නේ නෑ. රාග සහිත නො වෙන විට එය හා එක් වෙන්නෙත් නෑ. පින්වත් මිගජාල, ආශාවෙන් යුතුව කෙලෙස්වලට බැඳී එයට එකතු නොවී සිටින භික්ෂුවට තමයි හුදෙකලාවේ ඉන්නවා කියලා කියන්නේ ….(පෙ)….

පින්වත් මිගජාල, මනසින් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම හටගන්නා අරමුණු තියෙනවා. ඉතින් භික්ෂුව එය සතුටින් පිළිගන්නේ නෑ. එහි ගුණ කියන්නේ නෑ. එහි බැසගෙන ඉන්නෙත් නෑ. එතකොට එය සතුටින් නො පිළිගනිද්දී, එහි ගුණ නො කියද්දී, එහි බැසගෙන නො සිටිද්දී ඔහුගේ තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නැති විට රාග සහිත වෙන්නේ නෑ. රාග සහිත නො වෙන විට එය හා එක් වෙන්නෙත් නෑ. පින්වත් මිගජාල, ආශාවෙන් යුතුව කෙලෙස්වලට බැඳී එයට එකතු නොවී සිටින භික්ෂුවට තමයි හුදෙකලාවේ ඉන්නවා කියලා කියන්නේ.

පින්වත් මිගජාල, ඔය විදිහට වාසය කරන භික්ෂුව ඉදින් ග්‍රාමවාසී සෙනසුනක, භික්ෂු භික්ෂුණී, උපාසක, උපාසිකා, රාජ, රාජ මහාමාත්‍යයන්, තීර්ථක, තීර්ථක ශ්‍රාවකයන්ගෙන් පිරීගිය තැනක සිටියත් ඔහු හුදෙකලාවේ ම වාසය කරන කෙනෙක් කියල යි කියන්නේ. එයට හේතුව කුමක්ද? ඔහුගේ දෙවැන්නා විදිහට තණ්හාව තිබුණානේ. අන්න ඒ තණ්හාව ප්‍රහීණ වෙලා. ඒ නිසයි හුදෙකලාවේ වාසය කරනවා කියලා කියන්නේ.

සාදු! සාදු!! සාදු!!!

මිගජාල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-7-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M