සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.6.9. සබ්බූපාදානපරියාදාන සුත්තං

1.6.9. සියලු උපාදාන අවසන් කිරීම ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, මා ඔබට සියලු උපාදාන අවසන් කිරීම පිණිස පවතින ධර්මයක් දේශනා කරන්ටයි යන්නේ. එය සවන් යොමා අසන්න. පින්වත් මහණෙනි, සියලු උපාදාන අවසන් කිරීම පිණිස පවතින ධර්මය යනු කුමක්ද?

ඇසත්, රූපත් නිසා ඇසේ විඤ්ඤාණය උපදිනවා. ඔය තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා. පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට ඇස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. රූප ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. ඇසේ විඤ්ඤාණය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. ඇසේ ස්පර්ශය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. විඳීම ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කලකිරුණු විට ඒ කෙරෙහි තිබුණ ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. එසේ නිදහස් වීම නිසා “මා විසින් උපාදාන අවසන් කර දැමුවා” යි යන කරුණ අවබෝධ කර ගන්නවා ….(පෙ)….

දිවත්, රසත් නිසා දිවේ විඤ්ඤාණය උපදිනවා. ඔය තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා. පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට දිව ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. රස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. දිවේ විඤ්ඤාණය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. දිවේ ස්පර්ශය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. විඳීම ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කලකිරුණු විට ඒ කෙරෙහි තිබුණ ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. එසේ නිදහස් වීම නිසා “මා විසින් උපාදාන අවසන් කර දැමුවා” යි යන කරුණ අවබෝධ කර ගන්නවා ….(පෙ)….

මනසත්, මනසට අරමුණු වන දේත් නිසා මනසේ විඤ්ඤාණය උපදිනවා. ඔය තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා. පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට මනස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. මනසට අරමුණු වන දේ ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. මනසේ විඤ්ඤාණය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. මනසේ ස්පර්ශය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. විඳීම ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කලකිරුණු විට ඒ කෙරෙහි තිබුණ ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. එසේ නිදහස් වීම නිසා “මා විසින් උපාදාන අවසන් කර දැමුවා” යි යන කරුණ අවබෝධ කර ගන්නවා. පින්වත් මහණෙනි, සියලු උපාදාන අවසන් කිරීම පිණිස පවතින ධර්මය යනු මෙය යි.

සාදු! සාදු!! සාදු!!!

සබ්බූපාදානපරියාදාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-6-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M