සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.3.7. අන්ධභූත සුත්තං

1.3.7. මුළාවෙන් මුළාවට පත් වීම ගැන වදාළ දෙසුම

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා වදාළා.

පින්වත් මහණෙනි, සෑම දෙයක් ම මුළාවෙන් මුළාවට පත් වෙලයි තියෙන්නේ. පින්වත් මහණෙනි, මුළාවෙන් මුළාවට පත් වී ඇති සෑම දෙය කුමක්ද? පින්වත් මහණෙනි, ඇස මුළාවෙන් මුළාවට පත් වෙලයි තියෙන්නේ. රූප මුළාවෙන් මුළාවට පත් වෙලයි තියෙන්නේ. ඇසේ විඤ්ඤාණය මුළාවෙන් මුළාවට පත් වෙලයි තියෙන්නේ. ඇසේ ස්පර්ශය මුළාවෙන් මුළාවට පත් වෙලයි තියෙන්නේ. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්නම් එයත් මුළාවෙන් මුළාවට පත් වෙලයි තියෙන්නේ. මුළාවෙන් මුළාවට පත් වෙලා තියෙන්නේ මොන දෙයකින් ද? ඉපදීමෙන්, ජරා-මරණයෙන් මුළාවෙන් මුළාවට පත් වෙලයි තියෙන්නේ. සෝක වැලපීම්වලින්, දුක් දොම්නස්වලින්, සුසුම් හෙළීම්වලින් මුළාවෙන් මුළාවට පත් වෙලා තියෙනවා කියල යි මා කියන්නේ. කන ….(පෙ)….

දිව මුළාවෙන් මුළාවට පත් වෙලයි තියෙන්නේ. රස මුළාවෙන් මුළාවට පත් වෙලයි තියෙන්නේ. දිවේ විඤ්ඤාණය මුළාවෙන් මුළාවට පත් වෙලයි තියෙන්නේ. දිවේ ස්පර්ශය මුළාවෙන් මුළාවට පත් වෙලයි තියෙන්නේ. දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්නම් එයත් මුළාවෙන් මුළාවට පත් වෙලයි තියෙන්නේ. මුළාවෙන් මුළාවට පත් වෙලා තියෙන්නේ මොන දෙයකින් ද? ඉපදීමෙන්, ජරා-මරණයෙන් මුළාවෙන් මුළාවට පත් වෙලයි තියෙන්නේ. සෝක වැලපීම්වලින්, දුක් දොම්නස් වලින්, සුසුම් හෙළීම්වලින් මුළාවෙන් මුළාවට පත් වෙලා තියෙනවා කියල යි මා කියන්නේ. කය ….(පෙ)….

මනස මුළාවෙන් මුළාවට පත් වෙලයි තියෙන්නේ. මනසට අරමුණු වන දේ මුළාවෙන් මුළාවට පත් වෙලයි තියෙන්නේ. මනසේ විඤ්ඤාණය මුළාවෙන් මුළාවට පත් වෙලයි තියෙන්නේ. මනසේ ස්පර්ශය මුළාවෙන් මුළාවට පත් වෙලයි තියෙන්නේ. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්නම් එයත් මුළාවෙන් මුළාවට පත් වෙලයි තියෙන්නේ. මුළාවෙන් මුළාවට පත් වෙලා තියෙන්නේ මොන දෙයකින් ද? ඉපදීමෙන්, ජරා-මරණයෙන් මුළාවෙන් මුළාවට පත් වෙලයි තියෙන්නේ. සෝක වැලපීම්වලින්, දුක් දොම්නස් වලින්, සුසුම් හෙළීම්වලින් මුළාවෙන් මුළාවට පත් වෙලා තියෙනවා කියල යි මා කියන්නේ.

පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට ඇස කෙරෙහිත් කලකිරෙනවා. රූප කෙරෙහිත් කලකිරෙනවා. ඇසේ විඤ්ඤාණය කෙරෙහිත් කලකිරෙනවා. ඇසේ ස්පර්ශය කෙරෙහිත් කලකිරෙනවා. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද ඒ කෙරෙහිත් කලකිරෙනවා ….(පෙ)…. මනස කෙරෙහිත් කලකිරෙනවා. මනසට අරමුණු වන දේ කෙරෙහිත් කලකිරෙනවා. මනසේ විඤ්ඤාණය කෙරෙහිත් කලකිරෙනවා. මනසේ ස්පර්ශය කෙරෙහිත් කලකිරෙනවා. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද ඒ කෙරෙහිත් කලකිරෙනවා. කලකිරුණු විට ඒ කෙරෙහි තිබුණ ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වූ බවට අවබෝධ ඤාණය ඇති වෙනවා. “ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන පිණිස කළ යුතු දෙය කළා. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම” යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.

සාදු! සාදු!! සාදු!!!

අන්ධභූත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M