සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.3.5. දුතිය අපරිජාන සුත්තං

1.3.5. පිරිසිඳ නො දැනීම ගැන වදාළ දෙවෙනි දෙසුම

සැවැත් නුවර දී ….

පින්වත් මහණෙනි, සියලු දෙය විශේෂ ඤාණයකින් අවබෝධ නො කොට, පිරිසිඳ අවබෝධ නො කොට, ඇල්ම දුරු නො කොට, ඇල්ම අත් නො හැර දුක ක්ෂය කිරීම නම් විය නො හැකි දෙයක්. පින්වත් මහණෙනි, විශේෂ ඤාණයකින් අවබෝධ නො කොට, පිරිසිඳ අවබෝධ නො කොට, ඇල්ම දුරු නො කොට, ඇල්ම අත් නො හැර දුක ක්ෂය කිරීම නො හැකි වන්නේ කවර සියලු දෙයක් ගැන ද?

පින්වත් මහණෙනි, යම් ඇසක් ඇද්ද, යම් රූප ඇද්ද, යම් ඇසේ විඤ්ඤාණයක් ඇද්ද, ඇසේ විඤ්ඤාණයෙන් දැනගත යුතු යම් දෙයක් ඇද්ද, (මෙයින් අදහස් කරන්නේ ඇසේ ස්පර්ශයෙන් හටගන්නා සියල්ල ගැනයි.) යම් කනක් ඇද්ද, යම් ශබ්ද ඇද්ද, යම් කනේ විඤ්ඤාණයක් ඇද්ද, කනේ විඤ්ඤාණයෙන් දැනගත යුතු යම් දෙයක් ඇද්ද, යම් නාසයක් ඇද්ද, යම් ගඳ-සුවඳක් ඇද්ද, යම් නාසයේ විඤ්ඤාණයක් ඇද්ද, නාසයේ විඤ්ඤාණයෙන් දැනගත යුතු යම් දෙයක් ඇද්ද, යම් දිවක් ඇද්ද, යම් රසයක් ඇද්ද, යම් දිවේ විඤ්ඤාණයක් ඇද්ද, දිවේ විඤ්ඤාණයෙන් දැනගත යුතු යම් දෙයක් ඇද්ද, යම් කයක් ඇද්ද, යම් පහසක් ඇද්ද, යම් කයේ විඤ්ඤාණයක් ඇද්ද, කයේ විඤ්ඤාණයෙන් දැනගත යුතු යම් දෙයක් ඇද්ද, යම් මනසක් ඇද්ද, මනසට අරමුණු වන යම් දෙයක් ඇද්ද, යම් මනසේ විඤ්ඤාණයක් ඇද්ද, මනෝ විඤ්ඤාණයෙන් දැනගන්නා යම් දෙයක් ඇද්ද, පින්වත් මහණෙනි, මේ සියල්ල විශේෂ ඤාණයකින් අවබෝධ නො කළොත් තමයි, පිරිසිඳ නො දැක්කොත් තමයි, ඇල්ම දුරු නො කළොත් තමයි, ඇල්ම අත් නො හැරියොත් තමයි දුක ක්ෂය කිරීම විය නො හැකි දෙයක් වන්නේ.

පින්වත් මහණෙනි, සියලු දෙය විශේෂ ඤාණයකින් අවබෝධ කොට, පිරිසිඳ දැන, ඇල්ම දුරු කොට, ඇල්ම අත් හැර දුක ක්ෂය කිරීම නම් විය හැකි දෙයක්. පින්වත් මහණෙනි, විශේෂ ඤාණයකින් අවබෝධ කළොත්, පිරිසිඳ දැක්කොත්, ඇල්ම දුරු කළොත්, ඇල්ම අත් හැරියොත් දුක ක්ෂය කිරීම විය හැකි වන්නේ කවර සියලු දෙයක් ගැන ද?

පින්වත් මහණෙනි, යම් ඇසක් ඇද්ද, යම් රූප ඇද්ද, යම් ඇසේ විඤ්ඤාණයක් ඇද්ද, ඇසේ විඤ්ඤාණයෙන් දැනගත යුතු යම් දෙයක් ඇද්ද, (මෙයින් අදහස් කරන්නේ ඇසේ ස්පර්ශයෙන් හටගන්නා සියල්ල ගැන යි.) ….(පෙ)…. යම් දිවක් ඇද්ද, යම් රසයක් ඇද්ද, යම් දිවේ විඤ්ඤාණයක් ඇද්ද, දිවේ විඤ්ඤාණයෙන් දැනගත යුතු යම් දෙයක් ඇද්ද ….(පෙ)…. යම් මනසක් ඇද්ද, මනසට අරමුණු වන යම් දෙයක් ඇද්ද, යම් මනසේ විඤ්ඤාණයක් ඇද්ද, මනෝ විඤ්ඤාණයෙන් දැන ගන්නා යම් දෙයක් ඇද්ද, පින්වත් මහණෙනි, මේ සියල්ල විශේෂ ඤාණයකින් අවබෝධ කළොත් තමයි, පිරිසිඳ දැක්කොත් තමයි, ඇල්ම දුරු කළොත් තමයි, ඇල්ම අත් හැරියොත් තමයි දුක ක්ෂය කිරීම විය හැකි දෙයක් වන්නේ.

සාදු! සාදු!! සාදු!!!

දුතිය අපරිජාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M