සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.2.6. දුතිය නෝ චේ අස්සාද සුත්තං

1.2.6. “ඉදින් ආශ්වාදයක් නොතිබුණා නම්” යන්න ගැන වදාළ දෙවෙනි දෙසුම

සැවැත් නුවර දී ….

පින්වත් මහණෙනි, ඉදින් රූපවල ආශ්වාදයක් නොතිබුණා නම්, සත්වයන් රූප කෙරෙහි ඇල්මක් ඇති කරගන්නේ නෑ. පින්වත් මහණෙනි, යම් යම් කරුණු නිසා රූපවල ආශ්වාදයක් තියෙනවා. ඒ නිසා සත්වයන් රූප කෙරෙහි ඇලෙනවා. පින්වත් මහණෙනි, ඉදින් රූපවල ආදීනවයක් නොතිබුණා නම්, සත්වයන් රූප කෙරෙහි කලකිරීමක් ඇති කරගන්නේ නෑ. පින්වත් මහණෙනි, යම් යම් කරුණු නිසා රූපවල ආදීනවයක් තියෙනවා. ඒ නිසා සත්වයන් රූපවල සත්‍ය ස්වභාවය තේරුම් ගෙන කලකිරෙනවා. පින්වත් මහණෙනි, ඉදින් රූපවලින් නිදහස් වීමක් නොතිබුණා නම්, සත්වයන් රූපවලින් නිදහස් වෙන්නේ නෑ. පින්වත් මහණෙනි, යම් යම් කරුණු නිසා රූපවලින් නිදහස් වීමක් තියෙනවා. ඒ නිසා සත්වයන් රූපවලින් නිදහස් වෙනවා.

පින්වත් මහණෙනි, ඉදින් ශබ්දවල ආශ්වාදයක් නොතිබුණා නම් ….(පෙ)…. ගඳ-සුවඳෙහි ….(පෙ)…. රසයෙහි ….(පෙ)…. පහසෙහි ….(පෙ)…. සිතට අරමුණු වන දේ තුළ ආශ්වාදයක් නොතිබුණා නම්, සත්වයන් සිතට අරමුණු වන දේ කෙරෙහි ඇල්මක් ඇති කරගන්නේ නෑ. පින්වත් මහණෙනි. යම් යම් කරුණු නිසා සිතට අරමුණු වන දේ තුළ ආශ්වාදයක් තියෙනවා. ඒ නිසා සත්වයන් සිතට අරමුණු වන දේ කෙරෙහි ඇලෙනවා. පින්වත් මහණෙනි, ඉදින් සිතට අරමුණු වන දේ තුළ ආදීනවයක් නොතිබුණා නම්, සත්වයන් සිතට අරමුණු වන දේ කෙරෙහි කලකිරීමක් ඇති කරගන්නේ නෑ. පින්වත් මහණෙනි, යම් යම් කරුණු නිසා සිතට අරමුණු වන දේ තුළ ආදීනවයක් තියෙනවා. ඒ නිසා සත්වයන් සිතට අරමුණු වන දේ ගැන සත්‍ය ස්වභාවය තේරුම් ගෙන කලකිරෙනවා. පින්වත් මහණෙනි, ඉදින් සිතට අරමුණු වන දෙයින් නිදහස් වීමක් නොතිබුණා නම්, සත්වයන් සිතට අරමුණු වන දෙයින් නිදහස් වෙන්නේ නෑ. පින්වත් මහණෙනි, යම් යම් කරුණු නිසා සිතට අරමුණු වන දෙයින් නිදහස් වීමක් තියෙනවා. ඒ නිසා සත්වයන් සිතට අරමුණු වන දෙයින් නිදහස් වෙනවා.

පින්වත් මහණෙනි, සත්වයන් යම්තාක් කලක් මේ බාහිර ආයතන හය පිළිබඳව ඔය ආකාරයට ආශ්වාදය ආශ්වාදය වශයෙනුත්, ආදීනවය ආදීනවය වශයෙනුත්, නිස්සරණය නිස්සරණය වශයෙනුත් ඒ වූ ස්වභාවයෙන් ම අවබෝධ කළේ නැත් ද, පින්වත් මහණෙනි, ඒ තාක්කල් ම සත්වයෝ, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බමුණන් සහිත වූ මේ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි ජීවත් වුණේ බාහිර ආයතන හයෙන් වෙන් වෙලා නොවේ. නොබැඳී නොවේ. නිදහස් වෙලා නොවේ. එයට හසු නොවුන සිතිනුත් නොවේ.

පින්වත් මහණෙනි, සත්වයන් යම් දවසක මේ බාහිර ආයතන හය පිළිබඳව ඔය ආකාරයට ආශ්වාදය ආශ්වාදය වශයෙනුත්, ආදීනවය ආදීනවය වශයෙනුත්, නිස්සරණය නිස්සරණය වශයෙනුත් ඒ වූ ස්වභාවයෙන් ම අවබෝධ කර ගත්තා ද, පින්වත් මහණෙනි, එතකොට තමයි සත්වයෝ, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බමුණන් සහිත වූ මේ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි බාහිර ආයතන හයෙන් වෙන් වෙලා වාසය කරන්නේ. එක් නොවී වාසය කරන්නේ. නිදහස් වෙලා වාසය කරන්නේ. එයට හසු නොවුන සිතින් වාසය කරන්නේ.

සාදු! සාදු!! සාදු!!!

දුතිය නෝ චේ අස්සාද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M