සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.19.8. කිංසුකෝපම සුත්තං

1.19.8. කෑල ගස උපමා කොට වදාළ දෙසුම

එතකොට එක්තරා භික්ෂුවක් තවත් එක්තරා භික්ෂුවක් සමීපයට පැමිණුනා. පැමිණිලා ඒ භික්ෂුවට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවගේ දැක්ම (අවබෝධය) වඩාත් පිරිසිදු වන්නේ කවර පදනමක් මතද?” කියලා. “ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක භික්ෂුව (ඇස් කන් ආදී) ස්පර්ශායතන හය පිළිබඳව හටගැනීමත්, නැතිවීමත්, ඒ ආකාරයෙන් ම දැනගත්තොත්, එපමණකින් ම ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවගේ දැක්ම ඉතා පිරිසිදු වෙනවා.”

එතකොට, ඒ භික්ෂුව අර භික්ෂුවගේ ප්‍රශ්න විසඳීම ගැන නොසතුටු වුණා. තවත් භික්ෂුවක් ළඟට පැමිණියා. පැමිණිලා ඒ භික්ෂුවට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවගේ දැක්ම (අවබෝධය) වඩාත් පිරිසිදු වන්නේ කවර පදනමක් මතද?” කියලා. “ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක භික්ෂුව (රූප වේදනා ආදී) පංච උපාදානස්කන්ධයන්ගේ හටගැනීමත්, නැතිවීමත්, ඒ ආකාරයෙන් ම දැනගත්තොත්, එපමණකින්ම ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවගේ දැක්ම ඉතා පිරිසිදු වෙනවා.”

එතකොට, ඒ භික්ෂුව අනිත් භික්ෂුවගේ ප්‍රශ්න විසඳීම ගැනත් නොසතුටු වුණා. තවත් භික්ෂුවක් ළඟට පැමිණියා. පැමිණිලා ඒ භික්ෂුවට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවගේ දැක්ම (අවබෝධය) වඩාත් පිරිසිදු වන්නේ කවර පදනමක් මතද?” කියලා. “ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක භික්ෂුව සතර මහා භූතයන්ගේ හටගැනීමත්, නැතිවීමත්, ඒ ආකාරයෙන් ම දැනගත්තොත්, එපමණකින්ම ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවගේ දැක්ම ඉතා පිරිසිදු වෙනවා.”

එතකොට, ඒ භික්ෂුව ඊළඟ භික්ෂුවගේ ප්‍රශ්න විසඳීම ගැනත් නොසතුටු වුණා. තවත් භික්ෂුවක් ළඟට පැමිණියා. පැමිණිලා ඒ භික්ෂුවට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවගේ දැක්ම (අවබෝධය) වඩාත් පිරිසිදු වන්නේ කවර පදනමක් මතද?” කියලා. “ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක භික්ෂුව හේතූන්ගෙන් හටගන්නා ස්වභාව ඇති යම් දෙයක් ඇත්නම්, ඒ සෑම දෙයක් ම හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි කියලා ඒ ආකාරයෙන් ම දැනගත්තොත්, එපමණකින් ම ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවගේ දැක්ම ඉතා පිරිසිදු වෙනවා.”

එතකොට, ඒ භික්ෂුව ඊළඟ භික්ෂුවගේ ප්‍රශ්න විසඳීම ගැනත් නොසතුටු වුණා. භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළා. ස්වාමීනී, මෙහි මං එක්තරා භික්ෂුවක් ළඟට ගියා. ගිහින් ඒ භික්ෂුවට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවගේ දැක්ම (අවබෝධය) වඩාත් පිරිසිදු වන්නේ කවර පදනමක් මතද?” කියලා. ස්වාමීනී, ඔහොම කී විට ඒ භික්ෂුව මට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක භික්ෂුව (ඇස් කන් ආදී) ස්පර්ශායතන හය පිළිබඳව හටගැනීමත්, නැතිවීමත්, ඒ ආකාරයෙන් ම දැනගත්තොත්, එපමණකින් ම ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවගේ දැක්ම ඉතා පිරිසිදු වෙනවා.” කියලා.

ස්වාමීනී, එතකොට මං ඒ භික්ෂුවගේ ප්‍රශ්න විසඳීම ගැන සතුටු වුණේ නෑ. මං වෙන භික්ෂුවක් ළඟට ගියා. ගිහින් ඒ භික්ෂුවට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවගේ දැක්ම (අවබෝධය) වඩාත් පිරිසිදු වන්නේ කවර පදනමක් මතද?” කියලා. ස්වාමීනී, ඔහොම කී විට ඒ භික්ෂුව මට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක භික්ෂුව (රූප වේදනා ආදී) පංච උපාදානස්කන්ධයන්ගේ හටගැනීමත්, නැතිවීමත්, ඒ ආකාරයෙන් ම දැනගත්තොත් ….(පෙ)…. සතර මහා භූතයන්ගේ හටගැනීමත්, නැතිවීමත්, ඒ ආකාරයෙන් ම දැනගත්තොත් ….(පෙ)…. හේතූන්ගෙන් හටගන්නා ස්වභාව ඇති යම් දෙයක් ඇත්නම්, ඒ සෑම දෙයක් ම හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි කියලා ඒ ආකාරයෙන් ම දැනගත්තොත් එපමණකින් ම ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවගේ දැක්ම ඉතා පිරිසිදු වෙනවා.” කියලා.

ඉතින් ස්වාමීනී, මම ඒ භික්ෂුවගේ ප්‍රශ්න විසඳීම ගැනවත් සතුටක් නෑ. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුණේ. ස්වාමීනී, භික්ෂුවගේ දැක්ම (අවබෝධය) වඩාත් පිරිසිදු වන්නේ කවර පදනමක් මතද?

පින්වත් භික්ෂුව ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් විසින් කෑල ගසක් කළින් නොදැක තිබුණා. එතකොට ඒ පුරුෂයා කෑල ගසක් දැකපු වෙනත් පුරුෂයෙක් ළඟට ගියා. ගිහින් අර පුරුෂයාගෙන් මෙහෙම ඇහුවා. “එම්බා පුරුෂය, කෑල ගස කොයි වගේද?” කියලා. ඔහු මෙහෙම උත්තර දුන්නා. “එම්බා පුරුෂය, කෑල ගස කළු පාටයි. ඒක හරියට පිච්චුනු කනුවක් වගේ” පින්වත් භික්ෂුව, ඒ පුරුෂයා යම් අයුරකින් කෑල ගස දැක්කා ද, එසමයෙහි එබඳුම වූ කෑල ගස තියෙනවා.

ඉතින් පින්වත් භික්ෂුව, ඒ (කෑල ගස නොදුටු) පුරුෂයා අර පුරුෂයාගේ ප්‍රශ්න විසඳීම ගැන සතුටු වුණේ නෑ. කෑල ගහක් දැකපු වෙනත් පුරුෂයෙක් ළඟට ගියා. ගිහින් අර පුරුෂයාගෙන් මෙහෙම ඇහුවා “එම්බා පුරුෂය, කෑල ගස කොයි වගේද?” කියලා. ඔහු මෙහෙම උත්තර දුන්නා. “එම්බා පුරුෂය, කෑල ගහ රතු පාටයි. ඒක හරියට මස් වැදැල්ලක් වගේ” පින්වත් භික්ෂුව, ඒ පුරුෂයා යම් අයුරකින් කෑල ගස දැක්කා ද, එසමයෙහි එබඳුම වූ කෑල ගස තියෙනවා.

ඉතින් පින්වත් භික්ෂුව, ඒ (කෑල ගස නොදුටු) පුරුෂයා අර පුරුෂයාගේ ප්‍රශ්න විසඳීම ගැන සතුටු වුණේ නෑ. කෑල ගහක් දැකපු වෙනත් පුරුෂයෙක් ළඟට ගියා. ගිහින් අර පුරුෂයාගෙන් මෙහෙම ඇහුවා “එම්බා පුරුෂය, කෑල ගස කොයි වගේද?” කියලා. ඔහු මෙහෙම උත්තර දුන්නා. “එම්බා පුරුෂය, කෑල ගස කරල් පැලිලා පොතු ගැලවිලා තියෙන්නේ. ඒක හරියට මහරි ගහක් වගේ” පින්වත් භික්ෂුව, ඒ පුරුෂයා යම් අයුරකින් කෑල ගස දැක්කා ද, එසමයෙහි එබඳුම වූ කෑල ගස තියෙනවා.

ඉතින් පින්වත් භික්ෂුව, ඒ (කෑල ගස නොදුටු) පුරුෂයා අර පුරුෂයාගේ ප්‍රශ්න විසඳීම ගැන සතුටු වුණේ නෑ. කෑල ගහක් දැකපු වෙනත් පුරුෂයෙක් ළඟට ගියා. ගිහින් අර පුරුෂයාගෙන් මෙහෙම ඇහුවා “එම්බා පුරුෂය, කෑල ගස කොයි වගේද?” කියලා. ඔහු මෙහෙම උත්තර දුන්නා. “එම්බා පුරුෂය, ඝන පත්‍ර ඇති කෑල ගහ හොඳට සෙවණ තියෙනවා. ඒක හරියට නුග ගහක් වගේ” පින්වත් භික්ෂුව, ඒ පුරුෂයා යම් අයුරකින් කෑල ගහ දැක්කා ද, එසමයෙහි එබඳුම වූ කෑල ගස තියෙනවා. පින්වත් භික්ෂුව, යම් යම් ආකාරයකින් ඒ සත්පුරුෂයන්ගේ දැක්ම (අවබෝධය) ඉතා පිරිසිදුව තිබුණා ද, ඒ ඒ සත්පුරුෂයන් විසින් ඒ ඒ ආකාරයට ම යි ප්‍රකාශ කරලා තියෙන්නේ.

පින්වත් භික්ෂුව, ඒක මේ වගේ දෙයක්. ඈත ප්‍රදේශයක රජකුගේ නගරයක් තියෙනවා. ඒක දැඩි පවුරු පදනම් ඇති, ප්‍රාකාර තොරණ ඇති, දොරටු හයක් ඇති නගරයක්. ඔය නගරයේ ඉතාමත් දක්ෂ, නුවණැති, ප්‍රඥාවන්ත දොරටු පාලකයෙක් ඉන්නවා. ඔහු නාඳුනන අය ඇතුළු කරගන්නේ නෑ. හඳුනන අය විතරයි ඇතුල් කරන්නේ. දවසක් වේගයෙන් ගමන් කරන දූතයන් දෙදෙනෙක් නැගෙනහිර දෙසින් ඇවිදින් ඒ දොරටුපල්ලාට මෙහෙම කියනවා. “එම්බා පුරුෂය, මේ නගරයේ නගරහිමියා ඉන්නේ කොහේද?” එතකොට ඔහු මෙහෙම කියනවා. “ස්වාමීනී, මැද හතරමංහන්දියේ තමයි ඒ නගර හිමියා ඉන්නේ.” කියලා.

එතකොට ඒ වේග ගමන් ඇති දූතයන් දෙදෙනා නගර ස්වාමියා හට සැබෑ ආකාර වූ වචන පිළිගන්වලා යළිත් ආ මගට ම පැමිණුනා. බටහිර දෙසිනුත් වේග ගමන් ඇති දූතයන් දෙදෙනෙක් ඇවිදින් ….(පෙ)…. උතුරු දෙසිනුත් වේග ගමන් ඇති දූතයන් දෙදෙනෙක් ඇවිදින් ….(පෙ)…. දකුණු දෙසිනුත් වේග ගමන් ඇති දූතයන් දෙදෙනෙක් ඇවිදින් ඒ දොරටුපල්ලාට මෙහෙම කියනවා. “එම්බා පුරුෂය, මේ නගරයේ නගරහිමියා ඉන්නේ කොහේද?” එතකොට ඔහු මෙහෙම කියනවා. “ස්වාමීනී, මැද හතරමංහන්දියේ තමයි ඒ නගර හිමියා ඉන්නේ.” කියලා. එතකොට ඒ වේග ගමන් ඇති දූතයන් දෙදෙනා නගර ස්වාමියා හට සැබෑ ආකාර වූ වචන පිළිගන්වලා යළිත් ආ මගට ම පැමිණුනා.

පින්වත් භික්ෂුව, මා විසින් ඔය උපමාව කළේ අර්ථය තේරුම් කරලා දෙන්ටයි. ඕකේ අර්ථය මේකයි. පින්වත් භික්ෂුව, නගරය කියලා කිව්වේ මව්පියන්ගෙන් හටගත්, බත් වෑංජනවලින් වැඩුණු, අනිත්‍ය වූ, ඉලීම් පිරිමැදීම්වලින් නඩත්තු කරන, බිඳී යන වැනසී යන ස්වභාවයෙන් යුතු, සතර මහා භූතයන්ගෙන් හටගත්, මේ කයට කියන නමක්. පින්වත් භික්ෂුව, දොරටු හයක් තියෙනවා කියලා කිව්වේ, ආධ්‍යාත්මික ආයතන හයට කියන නමක්. පින්වත් භික්ෂුව, දොරටුපාලයා කියලා කිව්වේ සිහියට කියන නමක්. පින්වත් භික්ෂුව, වේගවත් ගමන් ඇති දූතයන් දෙදෙනා කියලා කිව්වේ සමථ-විදර්ශනා යන මෙයට කියන නමක්. පින්වත් භික්ෂුව, නගර හිමියා කියලා කිව්වේ මේ විඤ්ඤාණයට කියන නමක්. පින්වත් මහණෙනි, මැද හතරමං හන්දිය කියලා කිව්වේ මේ සතර මහා භූතයන්ට කියන නමක්. ඒ කියන්නේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව යන හතරයි. පින්වත් භික්ෂුව, සැබෑ ආකාර වූ වචනය කියලා කිව්වේ ඒ අමා නිවනට කියන නමක්. පින්වත් භික්ෂුව, පැමිණි මාර්ගය කියලා කිව්වේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන නමක්. ඒ කියන්නේ සම්මා දිට්ඨි ….(පෙ)…. සම්මා සමාධි යන මෙයයි.

සාදු! සාදු!! සාදු!!!

කිංසුකෝපම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-19-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M