පින්වත් මහණෙනි, යම් කිසි භික්ෂුවකට වේවා, භික්ෂුණියකට වේවා, ඇසින් දත යුතු රූප කෙරෙහි කැමැත්තක් හෝ රාගයක් හෝ ද්වේෂයක් හෝ මුළාවීමක් හෝ ගැටීමක් හෝ සිතෙහි උපදිනවා නම්, එයින් සිත වළක්වන්ට ඕනේ. ඔය මග නම් බිය සහිත ම යි. අතිශයින්ම බිය සහිතයි. කටු සහිතයි. අවුල් සහිතයි. නො මගක් ම යි. නපුරු මගක් ම යි. දුක් පැවතුම් සහිත ම යි. ඔය මග සේවනය කරන්නේ අසත්පුරුෂයන් විසිනුයි. ඔය මාර්ගය සත්පුරුෂයන් විසින් සේවනය කරන එකක් නොවේ. මෙය ඔබට සුදුසු දෙයක් නොවේ කියලයි ඇසින් දත යුතු රූපයන් කෙරෙහි ඇතිවෙන කෙලෙස්වලින් සිත වළක්වාලිය යුත්තේ.
පින්වත් මහණෙනි, යම් කිසි භික්ෂුවකට වේවා, භික්ෂුණියකට වේවා, කනෙන් දත යුතු ශබ්ද කෙරෙහි ….(පෙ)…. නාසයෙන් දත යුතු ගන්ධ කෙරෙහි ….(පෙ)…. දිවෙන් දත යුතු රස කෙරෙහි ….(පෙ)…. කයෙන් දත යුතු පහස කෙරෙහි ….(පෙ)…. මනසින් දත යුතු අරමුණු කෙරෙහි කැමැත්තක් හෝ රාගයක් හෝ ද්වේෂයක් හෝ මුළාවීමක් හෝ ගැටීමක් හෝ සිතෙහි උපදිනවා නම්, එයින් සිත වළක්වන්න ඕනේ. ඔය මග නම් බිය සහිත ම යි. අතිශයින්ම බිය සහිතයි. කටු සහිතයි. අවුල් සහිතයි. නොමගක් ම යි. නපුරු මගක් ම යි. දුක් පැවතුම් සහිත ම යි. ඔය මග සේවනය කරන්නේ අසත්පුරුෂයන් විසිනුයි. ඔය මාර්ගය සත්පුරුෂයන් විසින් සේවනය කරන එකක් නොවේ. මෙය ඔබට සුදුසු දෙයක් නොවේ කියලයි මනසින් දත යුතු අරමුණු කෙරෙහි ඇතිවෙන කෙලෙස්වලින් සිත වළක්වාලිය යුත්තේ.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. සරුසාර ගොයමක් තියෙනවා. ගොයම රකින්නාත් සැලකිල්ලක් නෑ. ගොයමට ආස ගොනෙක් ඒ ගොයමට බැහැලා ඇති තාක් මත් වෙනකල් කනවා. පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘතග්ජනයාත් ඔය වගේමයි. ස්පර්ශ ආයතන හය තුළ සංවරයක් නෑ. පංච කාම ගුණයන් තුළ ඇතිතාක් මත්වෙනකල් යෙදෙනවා. නමුත් පින්වත් මහණෙනි, මේ වගේ දේකුත් තියෙනවා. සරුසාර ගොයමක් තියෙනවා. ගොයම රකින්නා ඉතා කල්පනාකාරීව ඉන්නවා. ගොයමට ආස ගොනෙක් ඔය ගොයමට බහිනවා. එතකොට ගොයම රකින්නා අර ගොනාගේ නාස් ලණුවෙන් දැඩිකොට අල්ලා ගන්නවා. නාස් ලණුවෙන් දැඩිකොට අල්ලාගෙන අං දෙකේ පටලවලා දැඩිකොට පෙළනවා. අං දෙක අතරේ දැඩි කොට පෙළලා පොල්ලකින් රිදෙන්න තලනවා. රිදෙන්න පහර දීලා අත්හරිනවා.
දෙවෙනි වතාවේත් පින්වත් මහණෙනි, ….(පෙ)…. තුන්වෙනි වතාවේත් පින්වත් මහණෙනි, ගොයමට ආස ගොනා ඔය ගොයමට බහිනවා. එතකොට ගොයම රකින්නා අර ගොනාගේ නාස් ලණුවෙන් දැඩි කොට අල්ලා ගන්නවා. නාස් ලණුවෙන් දැඩිකොට අල්ලාගෙන අං දෙකේ පටලවලා දැඩිකොට පෙළනවා. අං දෙක අතරේ දැඩිකොට පෙළලා පොල්ලකින් රිදෙන්න තලනවා. රිදෙන්න පහර දීලා අත්හරිනවා. පින්වත් මහණෙනි, ඔය විදිහට ඒ ගොයමට ආස ගොනා ගමකට ගියත්, වනයට ගියත්, වැඩිපුර කරන්නේ හිටගෙන ඉන්න එක. එහෙම නැත්නම්, වැඩිපුර කරන්නේ වාඩිවෙලා ඉන්න එක. කළින් වැදිච්ච පොලු පහරවල් ගැන හිතලා ආයෙමත් ඒ ගොයමට බහින්නේ නෑ. පින්වත් මහණෙනි, අන්න ඒ වගේම යම් දවසක භික්ෂුවගේ සිතත් ස්පර්ශ ආයතන හය කෙරෙහි තර්ජනය කරලා තිබුණොත්, දැඩි විදිහට තර්ජනය කරල තිබුණොත් සිත තමන් තුළ නවතිනවා. හිඳිනවා. එකඟ වෙනවා. සමාධිමත් වෙනවා.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. රජෙකු විසින් හෝ රාජමහාමාත්‍යයෙකු විසින් හෝ වීණාවක හඬක් කිසිදා අසා නැතිනම්, එතකොට ඔහුට වීණා හඬක් අසන්නට ලැබෙනවා. ඔහු මෙහෙම කියනවා. “එම්බා පින්වත්නි, ඔය හඬ මොකක්ද? සිත් ඇදගන්නවා. හරි කමණීයයි නොවැ. මත්වෙලා යනවා නොවැ. මුසපත් වෙනවා නොවැ. ඒකට ම බැඳෙනවා නොවැ.” කියලා. එතකොට ඔහුට මෙහෙම කියනවා. “හිමියනි, යමකින් ඔය හඬ එනවා නම්, ඔතරම් සිත් ඇදගන්නා වූ, කමණීය වූ, මත්කරවන්නා වූ, මුසපත් කරවන්නා වූ බැඳීම ඇති කරවන්නා වූ ඒ හඬ නැගෙන දෙයක් වෙයි නම්, මෙය තමයි වීණාව කියන්නේ.”
එතකොට ඔහු මෙහෙම කියනවා “භවත, යන්න, මට වීණාවක් අරගෙන එන්න” කියලා. ඔහුට ඒ වීණාව අරගෙන එනවා. ඇවිදින් මෙහෙම කියනවා. “හිමියනි, යමකින් ඔය හඬ එනවා නම්, ඔතරම් සිත් ඇදගන්නා වූ, කමණීය වූ, මත්කරවන්නා වූ, මුසපත් කරවන්නා වූ, බැඳීම් ඇතිකරවන්නා වූ ඒ හඬ නැගෙන දෙයක් වෙයි නම්, මේ තියෙන්නේ ඒ වීණාව තමයි” එතකොට ඔහු මෙහෙම කියනවා. “භවත, ඔය වීණාවෙන් මට වැඩක් නෑ. මට අරගෙන එන්න ඕනේ ඒ හඬයි.” එතකොට ඔහුට මෙහෙම කියනවා. “හිමියනි, මේ වීණාව නම් වූ දෙය නොයෙක් උපකරණවලින් යුක්තයි. බොහෝ උපකරණවලින් යුක්තයි. ඒ බොහෝ උපකරණවලින් ගන්නා උත්සාහයෙනුයි හඬ පිටවෙන්නේ. ඒ කියන්නේ වීණා දෙනත් හේතු වෙනවා. සමත් හේතු වෙනවා. දණ්ඩත් හේතු වෙනවා. උපවීණාවත් හේතු වෙනවා. තතුත් හේතු වෙනවා. තත් තද කරන උපකරණයත් හේතු වෙනවා. පුරුෂයාගේ ඊට සුදුසු උත්සහයත් හේතු වෙනවා. හිමියනි, ඔය විදිහට මේ වීණාව කියන්නේ නොයෙක් උපකරණවලින් යුතු එකක්. බොහෝ උපකරණ ඇති එකක්. ඒ නොයෙක් උපකරණවලින් ගන්නා උත්සාහයෙනුයි හඬ පිටවෙන්නේ.”
ඔහු ඒ වීණාව කෑලි දහයකට හෝ සීයකට හෝ පලනවා. කෑලි දහයකට හෝ සීයකට හෝ පලලා කැබලි කැබලි කරනවා. කැබලි කැබලි කරලා ගිනි තියෙනවා. ගිනි තියලා අළු බවට පත් කරනවා. අළු බවට පත් කරලා මහා හුළඟට පිඹ හරිනවා. එක්කෝ නදියේ සැඩ පහරේ පා කොට හරිනවා.
ඔහු මෙහෙම කියනවා. “භවත්නි, ඔය වීණාව කියන්නේ ලාමක දෙයක්. වීණාව වගේ යම් දෙයක් තිබුණත් ලාමකයි. ඕකට තමයි මේ ජනයා ප්‍රමාද වෙලා, ඇලිලා කාලය නාස්ති කරන්නේ.” පින්වත් මහණෙනි, භික්ෂුවත් ඔය විදිහට ම රූපයේ වැඩපිළිවෙළවල් යම්තාක් ඇද්ද, ඒ තාක් රූපය විමසා බලනවා. වේදනාවේ වැඩපිළිවෙළවල් යම්තාක් ඇද්ද, ඒ තාක් වේදනාව විමසා බලනවා. සඤ්ඤාවේ වැඩපිළිවෙළවල් යම්තාක් ඇද්ද, ඒ තාක් සඤ්ඤාව විමසා බලනවා. සංස්කාරවල වැඩපිළිවෙළවල් යම්තාක් ඇද්ද, ඒ තාක් සංස්කාර විමසා බලනවා. විඤ්ඤාණයේ වැඩපිළිවෙළවල් යම්තාක් ඇද්ද, ඒ තාක් විඤ්ඤාණය විමසා බලනවා. රූපයේ වැඩපිළිවෙළවල් යම්තාක් ඇද්ද, ඒ තාක් රූපය විමසා බලන්නාවූ ඔහුට ….(පෙ)…. වේදනාව ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණයේ වැඩපිළිවෙළවල් යම්තාක් ඇද්ද, ඒ තාක් විඤ්ඤාණය විමසා බලන්නා වූ ඔහුට “මමය, මාගේය, මම වෙමි” යන යම් දෙයක් තියෙනවා නම් ඒක ඔහුට ඇති වෙන්නේ නෑ.
සාදු! සාදු!! සාදු!!!
වීණෝපම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-19-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M