සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.19.7. දුක්ඛධම්ම සුත්තං

1.19.7. දුක් සහිත දේවල් ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, යම් කලෙක භික්ෂුව දුක් සහිත සියලුම දේවල්වල හටගැනීමත්, නැතිවීමත් ඒ ආකාරයෙන් ම අවබෝධ කරනවා නම්, ඒ වගේම යම් අයුරකින් කාමයන් දකින විට ඔහු තුළ කාමයන් පිළිබඳව යම් කාමච්ඡන්දයක් ඇත්ද, කාම ඇල්මක් ඇත්ද, කාම මුසපත්වීමක් ඇත්ද, කාම දැවිල්ලක් ඇත්ද, එය චිත්තාභ්‍යන්තරයේ පවත්වන්නේ නැතිනම්, ඒ විදිහටයි ඔහු විසින් කාමයන් දැකලා තියෙන්නේ. යම් අයුරකින් හැසිරෙද්දීත්, සිටිද්දීත්, විෂම ලෝභයත්, දොම්නසත් යන පාපී අකුසල් දහම් වැගිරෙන්නේ නැත්නම්, ඔහු විසින් ඒ විදිහට හැසිරීමත් වාසය කිරීමත් අවබෝධ කරගෙනයි ඉන්නේ.

පින්වත් මහණෙනි, භික්ෂුව දුක් සහිත සෑම දෙයක් ගැන ම හටගැනීමත්, නැතිවී යාමත් ඒ ආකාරයෙන් ම අවබෝධ කරන්නේ කොහොමද? රූපය යනු මෙයයි. රූපයේ හටගැනීම මෙයයි. රූපයේ නැතිවීම මෙයයි. විඳීම යනු මෙයයි. විඳීමේ හටගැනීම මෙයයි. විඳීමේ නැතිවීම මෙයයි. සඤ්ඤාව යනු මෙයයි ….(පෙ)…. සඤ්ඤාව නැතිවීම මෙයයි. සංස්කාර යනු මෙයයි. සංස්කාරවල හටගැනීම මෙයයි. සංස්කාරවල නැතිවීම මෙයයි. විඤ්ඤාණය යනු මෙයයි. විඤ්ඤාණයේ හටගැනීම මෙයයි. විඤ්ඤාණයේ නැතිවීම මෙයයි. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි භික්ෂුව දුක් සහිත සෑම දෙයක් ම ගැනම හටගැනීමත්, නැතිවී යාමත් ඒ ආකාරයෙන් ම අවබෝධ කරන්නේ.

පින්වත් මහණෙනි, යම් අයුරකින් කාමයන් දකින විට ඔහු තුළ කාමයන් පිළිබඳව යම් කාමච්ඡන්දයක් ඇත්ද, කාම ඇල්මක් ඇත්ද, කාම මුසපත්වීමක් ඇත්ද, කාම දැවිල්ලක් ඇත්ද, එය චිත්තාභ්‍යන්තරයේ පවත්වන්නේ නැතිනම්, ඒ විදිහට භික්ෂුව විසින් කාමයන් දැකලා තියෙන්නේ කොහොමද? පින්වත් මහණෙනි, එය මෙවැනි දෙයක්. මිනිහෙකුගේ උසට වැඩියෙන් ගැඹුර ඇති, ගිනි දළු නැති, දුම් නැති, ගිණි අඟුරු පිරුණු වළක් තියෙනවා. ඔතැනට ජීවත් වෙනු කැමති, නොමැරෙනු කැමති, සැප කැමති, දුක් පිළිකුල් කරන පුරුෂයෙක් එනවා. එතකොට බලවත් පුරුෂයන් දෙදෙනෙක් ඔහුව වෙන් වෙන්ව අත්වලින් අල්ලාගෙන, ගිනි අඟුරු වළ කරා ඇදගෙන යනවා. එතකොට ඔහු එක එක විදිහට කයින් දඟලනවා. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, ඒ පුරුෂයාට දැනුමක් තියෙනවා “මං මේ ගිනි අඟුරු වළට වැටුණෝතින් නම්, ඒ හේතුවෙන් ම මැරිලා යාවි. එක්කෝ මාරාන්තික දුකකට පත්වේවි” කියලා. පින්වත් මහණෙනි, යම් අයුරකින් කාමයන් දකින විට ඔහු තුළ කාමයන් පිළිබඳ යම් කාමච්ඡන්දයක් ඇත්ද, කාම ඇල්මක් ඇත්ද, කාම මුසපත්වීමක් ඇත්ද, කාම දැවිල්ලක් ඇත්ද, එය චිත්තාභ්‍යන්තරයේ පවත්වන්නේ නැතිනම්, භික්ෂුව විසින් කාමය දැකලා තියෙන්නෙත් ඔන්න ඔය විදිහට ගිනි අඟුරු වලක් උපමා කරගෙනයි.

පින්වත් මහණෙනි, යම් අයුරකින් හැසිරෙද්දීත්, සිටිද්දීත්, විෂම ලෝභයත්, දොම්නසත් යන පාපී අකුසල් දහම් වැගිරෙන්නේ නැතිනම්, භික්ෂුව විසින් ඒ විදිහට හැසිරීමත් වාසය කිරීමත් අවබෝධ කරගෙන ඉන්නේ කොයි ආකාරයෙන්ද? පින්වත් මහණෙනි, එය මෙවැනි දෙයක්. පුරුෂයෙක් කටු අකුල් පිරුණු වනාන්තරයකට ඇතුළු වෙනවා. එතකොට ඔහු ඉදිරියේ තියෙන්නෙත් කටු පඳුරු. පසුපසින් තියෙන්නෙත් කටු පඳුරු. උතුරින් තියෙන්නෙත් කටු පඳුරු. දකුණින් තියෙන්නෙත් කටු පඳුරු. යටින් තියෙන්නෙත් කටු පඳුරු. ඔහුට උඩින් තියෙන්නෙත් කටු පඳුරු. එතකොට ‘මේ කටුපඳුරුවලින් මට කරදරයක් වෙන්න එපා…’ කියලා ඔහු හොඳ සිහියෙන් ම යි ඉස්සරහට යන්නේත්, ඔහු හොඳ සිහියෙන් ම යි ආපස්සට එන්නේත්, පින්වත් මහණෙනි, මේ අයුරින් ලෝකයෙහි ප්‍රිය ස්වරූප ඇති, මිහිරි ස්වරූප ඇති යමක් ඇත්නම්, ආර්ය විනයෙහි මෙයට කියන්නේ කටු කියලයි. එතකොට ඔය කටුව මේ විදිහට දැනගෙනයි සංවර වීමත්, අසංවර වීමත් තේරුම්ගත යුත්තේ.

පින්වත් මහණෙනි, අසංවර වෙන්නේ කොයි විදිහටද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැකලා ප්‍රිය ස්වභාව ඇති රූපයට ගිජු වෙනවා. අප්‍රිය ස්වභාව ඇති රූපයට කිපෙනවා. කය පිළිබඳ සිහිය නොපිහිටුවාගෙන ඉන්නවා. පටු සිතින් ඉන්නවා. යම් තැනක ඒ උපන් පාපී අකුසල් දහම් ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා නම් එම චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් ගැන ඒ ආකාරයෙන් ම අවබෝධයක් නෑ. කනෙන් ශබ්දයක් අහලා ….(පෙ)…. නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කොට ….(පෙ)…. දිවෙන් රසයක් විඳලා ….(පෙ)…. කයෙන් පහසක් ලබලා ….(පෙ)…. මනසින් අරමුණු සිතලා ප්‍රිය ස්වභාව ඇති අරමුණට ගිජු වෙනවා. අප්‍රිය ස්වභාව ඇති අරමුණට කිපෙනවා. කය පිළිබඳ සිහිය නොපිහිටුවාගෙන ඉන්නවා. පටු සිතින් ඉන්නවා. යම් තැනක ඒ උපන් පාපී අකුසල් දහම් ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා නම් එම චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් ගැන ඒ ආකාරයෙන් ම අවබෝධයක් නෑ. පින්වත් මහණෙනි, ඔන්න ඔය ආකාරයටයි අසංවර වෙන්නේ.

පින්වත් මහණෙනි, සංවර වෙන්නේ කොයි විදිහටද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැකලා ප්‍රිය ස්වභාව ඇති රූපයට ගිජු වෙන්නේ නෑ. අප්‍රිය ස්වභාව ඇති රූපයට කිපෙන්නේ නෑ. කය පිළිබඳ සිහිය පිහිටුවාගෙන ඉන්නවා. ප්‍රමාණ රහිත සිතින් ඉන්නවා. යම් තැනක ඒ උපන් පාපී අකුසල් දහම් ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා නම් ඒ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් ගැන ඒ ආකාරයෙන් ම අවබෝධයක් තියෙනවා. කනෙන් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කොට ….(පෙ)…. දිවෙන් රසයක් විඳලා ….(පෙ)…. කයෙන් පහසක් ලබලා ….(පෙ)…. මනසින් අරමුණු සිතලා ප්‍රිය ස්වභාව ඇති අරමුණට ගිජු වෙන්නේ නෑ. අප්‍රිය ස්වභාව ඇති අරමුණට කිපෙන්නෙත් නෑ. කය පිළිබඳ සිහිය පිහිටුවාගෙන ඉන්නවා. ප්‍රමාණ රහිත සිතින් ඉන්නවා. යම් තැනක ඒ උපන් පාපී අකුසල් දහම් ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා නම් ඒ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් ගැන ඒ ආකාරයෙන් ම අවබෝධයක් තියෙනවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය ආකාරයටයි සංවර වෙන්නේ.

පින්වත් මහණෙනි, ඔය විදිහට හැසිරෙන, ඔය විදිහට ම ඉන්න ඒ භික්ෂුවට පවා ඉදින් යම් යම් අවස්ථාවලදී සිහි මුළාවීමෙන් වේගවත් සිතිවිලි ඇති, බැඳීම් ඇති කරවන පාපී අකුසල් දහම් හටගන්න පුළුවනි. පින්වත් මහණෙනි, එතකොට සිහිය ඉපදීම සිදුවන්නේ හෙමිහිටයි. නමුත් එතකොට ම (සිහිය උපන් සැණින්) ඒ අකුසලය වහාම දුරු කරනවා. අභාවයට පත් කරනවා. ආයෙමත් නූපදින විදිහට කටයුතු කරනවා.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් දහවල පුරා රත්වුණු යකඩ කටාරමකට වතුර බින්දු දෙක තුනක් වක්කරනවා. පින්වත් මහණෙනි, ඒ වතුර බින්දු වැටෙන්නේ හෙමිහිටයි. නමුත් ඒ වතුර බින්දු වැටුණු සැණින් ම ඒවා නැතිවෙලා යනවා. ඔන්න ඔය විදිහට ම පින්වත් මහණෙනි, මේ අයුරින් හැසිරෙන මේ අයුරින් වාසය කරන ඒ භික්ෂුවට පවා ඉදින් යම් යම් අවස්ථාවලදී සිහි මුළාවීමෙන් වේගවත් සිතිවිලි ඇති, බැඳීම් ඇති කරවන, පාපී අකුසල් දහම් හටගන්න පුළුවනි. පින්වත් මහණෙනි, එතකොට සිහිය ඉපදීම සිදුවන්නේ හෙමිහිටයි. නමුත් එතකොට ම (සිහිය උපන් සැණින්) ඒ අකුසලය වහාම දුරු කරනවා. අභාවයට පත් කරනවා. ආයෙමත් නූපදින විදිහට කටයුතු කරනවා. පින්වත් මහණෙනි, යම් අයුරකින් හැසිරෙද්දීත්, සිටිද්දීත්, විෂම ලෝභයත්, දොම්නසත් යන පාපී අකුසල් දහම් වැගිරෙන්නේ නැතිනම්, ඒ විදිහට හැසිරීමත් වාසය කිරීමත් භික්ෂුව හට අවබෝධ වෙලා තියෙන්නේ ඔන්න ඔය ආකාරයටයි.

පින්වත් මහණෙනි, ඔය අයුරින් හැසිරෙන, ඔය අයුරින් වාසය කරන, ඒ භික්ෂුවට රජවරු වේවා, රාජමහාමාත්‍යවරු වේවා, මිතුරන් වේවා, යහළුවන් වේවා, ඤාතීන් වේවා, සහලේ ඤාතීන් වේවා, ඇවිදින් බොහෝ සැපසම්පත් දෙන්න හදනවා නම්, “එම්බා පුරුෂය, ඔය කහවත ඇත්තෙන් ම නුඹට වදයක් නේද? හිසත් මුඩු කරගෙන, කබලක් අතට ගෙන අසවල් දෙයකට නම් පිඬුසිඟා යනවද? මෙහෙ එන්න. ලාමක ගිහි බවට ඇවිත් භෝග සම්පත් අනුභව කරන්න. පිනුත් කරගන්න” කියලා. පින්වත් මහණෙනි, සැබවින් ම ඒ භික්ෂුව ඔය අයුරින් හැසිරෙමින් ඔය අයුරින් වසමින් පැවිදි බවේ හික්මීම ප්‍රතික්ෂේප කරලා ලාමක ගිහි බවට වැටෙනවා යන කරුණ සිදු වන දෙයක් නම් නොවේ.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. ගංඟා නම් නදිය තියෙන්නේ පෙරදිගට නැමිලයි. පෙරදිගට නැඹුරු වෙලයි. පෙරදිගට බර වෙලයි. එතකොට උදලු කැති අරගෙන මහා ජනකාය එනවා. “අපි මේ ගංඟා නම් නදිය බටහිරට නැඹුරු කරමු. බටහිරට යොමු කරමු. බටහිරට බර කරමු” කියලා. පින්වත් මහණෙනි, ඒ ගැන ඔබ කුමක්ද හිතන්නේ? ඔය මහා ජනකායට ගංඟා නදිය බටහිරට යොමු කරලා, බටහිරට නැඹුරු කරලා, බටහිරට බර කරලා දමන්න පුළුවන්ද? ස්වාමීනී, එය නොවේ ම ය. ඒකට හේතුව කුමක්ද? ස්වාමීනී, ගංඟා නදිය තියෙන්නේ පෙරදිගට නැමිලයි. පෙරදිගට නැඹුරු වෙලයි. පෙරදිගට බර වෙලයි. එය බටහිරට නවනවා කියන එක, එය බටහිරට නැඹුරු කරනවා කියන එක, බටහිරට බර කරනවා කියන එක, ලේසි දෙයක් නම් නොවේ. ඔය මහා ජනකාය ක්ලාන්තයට පත් වීමත්, දුකට පත් වීමත් විතරයි ඕකෙන් සිදු වන්නේ.

පින්වත් මහණෙනි, මේකත් ඒ වගේ තමයි. ඔය අයුරින් හැසිරෙන, ඔය අයුරින් වාසය කරන, ඒ භික්ෂුවට රජවරු වේවා, රාජමහාමාත්‍යවරු වේවා, මිතුරන් වේවා, යහළුවන් වේවා, ඤාතීන් වේවා, සහලේ ඤාතීන් වේවා, ඇවිදින් බොහෝ සැපසම්පත් දෙන්න හදනවා නම්, “එම්බා පුරුෂය, ඔය කහවත ඇත්තෙන්ම නුඹට වදයක් නේද? හිසත් මුඩු කරගෙන, කබලක් අතට ගෙන අසවල් දෙයකට නම් පිඬුසිඟා යනවද? මෙහෙ එන්න. ලාමක ගිහි බවට ඇවිත් භෝග සම්පත් අනුභව කරන්න. පිනුත් කරගන්න” කියලා. පින්වත් මහණෙනි, සැබවින් ම ඒ භික්ෂුව ඔය අයුරින් හැසිරෙමින් ඔය අයුරින් වසමින් පැවිදි බවේ හික්මීම ප්‍රතික්ෂේප කරලා ලාමක ගිහි බවට වැටෙනවා යන කරුණ සිදු වන දෙයක් නම් නොවේ. ඒකට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, යම් හෙයකින් බොහෝ කාලයක් තිස්සේ ඒ හිත විවේකයට යොමු කරලයි තියෙන්නේ. විවේකයට නැඹුරු කරලයි තියෙන්නේ. විවේකයට බර කරලයි තියෙන්නේ. ඒ නිසා ලාමක ගිහි බවට පත්වෙනවාය යන්න සිදු වන දෙයක් නම් නොවේ.

සාදු! සාදු!! සාදු!!!

දුක්ඛධම්ම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-19-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M