සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.19.2. රථූපම සුත්තං

1.19.2. රථ උපමා කොට වදාළ දෙසුම

පින්වත් මහණෙනි, කරුණු තුනකින් සමන්විත භික්ෂුව මේ ජීවිතයේ දී ම සැප සොම්නස් බහුලව වාසය කරනවා. ඒ වගේම ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස ඔහුට කරුණු සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ කරුණු තුන මොනවාද? ඉඳුරන් තුළ කෙලෙසුන්ගෙන් වළක්වාගත් දොරටු ඇති බවත්, දන් වැළඳීමේ අර්ථය දන්නා බවත්, නිදිවරමින් භාවනාවෙන් කල් ගෙවීමත් යන කරුණුය.

පින්වත් මහණෙනි, භික්ෂුව අකුසලයෙන් වැළැක්වූ දොරටු ඇති ඉන්ද්‍රියයන් තුළ ඉන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව ඇසින් රූප දැක කෙලෙස් ඇතිවන නිමිති ගන්නේ නෑ. කෙලෙස් ඇතිවන නිමිත්තක කොටසක්වත් ගන්නේ නෑ. යම් හෙයකින් ඇස නැමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයත්, දොම්නසත්, පාපී අකුසලත් ඇති වී අර්බුදයක් හට ගන්නවා නම්, එසේ නොවීම පිණිස එහි සංවරය පිණිස පිළිපදිනවා. ඇස රැක ගන්නවා. ඇස නැමැති ඉන්ද්‍රියයේ සංවරයට පැමිණෙනවා.

කනෙන් ශබ්දයක් අහලා ….(පෙ)…. නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කරලා ….(පෙ)…. දිවෙන් රසයක් රස විඳලා….(පෙ)…. කයෙන් පහසක් ලබලා ….(පෙ)…. මනසින් අරමුණක් දැනගෙන කෙලෙස් ඇතිවන නිමිති ගන්නේ නෑ. කෙලෙස් ඇතිවන නිමිත්තක කොටසක්වත් ගන්නේ නෑ. යම් හෙයකින් මනස නැමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයත්, දොම්නසත්, පාපී අකුසලත් ඇති වී අර්බුදයක් හට ගන්නවා නම්, එසේ නොවීම පිණිස එහි සංවරය පිණිස පිළිපදිනවා. මනස රැක ගන්නවා. මනස නැමැති ඉන්ද්‍රියයේ සංවරයට පැමිණෙනවා.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. සුන්දර බිමක, හතරමං හන්දියක, ආජානීය අශ්වයින් යොදවපු හරහට යෙදූ කෙවිටි ඇති රථයක් තියෙනවා. අශ්වයින් දමනය කිරීමෙහි සමර්ථ වූ දක්ෂ රථාචාර්යවරයෙක් ඔය රථයට නැගලා, වම් අතින් රැහැන්පට අරගෙන, දකුණු අතින් කෙවිටත් අරගෙන තමන් කැමති දිශාවට, තමන් කැමති පාරකින් යන්නට අශ්වයන්ව හසුරවනවා. ආපසු එන්නටත් හසුරුවනවා. පින්වත් මහණෙනි, ඔය වගේ ම යි භික්ෂුවත් මේ ඉන්ද්‍රියයන් හය ආරක්ෂා කර ගැනීම පිණිස හික්මෙනවා. සංවර වීම පිණිස හික්මෙනවා. දමනය වීම පිණිස හික්මෙනවා. සංසිඳවීම පිණිස හික්මෙනවා. පින්වත් මහණෙනි, භික්ෂුව අකුසලයෙන් වැළැක්වූ දොරටු ඇති ඉන්ද්‍රියයන් තුළ ඉන්නේ ඔය විදිහටයි.

පින්වත් මහණෙනි, භික්ෂුව වළඳන බොජුනෙහි අර්ථය දන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව හොඳට නුවණින් විමසලයි ආහාර ගන්නේ. ඒ කියන්නේ (මං මෙය වළඳන්නේ) ක්‍රීඩා පිණිස ඇඟ සවිමත් කරගන්ට නොවේ. ඇඟ හදාගෙන හිතට ගන්න නෙවේ. අඩුතැන් පුරවා ගන්ට නොවේ. ඇඟ ලස්සනට හදාගන්ටත් නොවේ. මේ කයේ පැවැත්ම පිණිස විතරයි. යැපීම පිණිස විතරයි. කුසගිනි වෙහෙස නැසීම පිණිස විතරයි. බඹසරට අනුග්‍රහ පිණිස විතරයි. මේ විදිහට මං පැරණි බඩගිනි වේදනාවත් නැති කරනවා. අළුත් බඩගිනි වේදනාවක් උපදවන්නේ නෑ. මගේ ජීවිත යාත්‍රාවත් සිදු වන්නේය. නිවැරදි බවත් පහසු විහරණයත් තියෙනවා කියලා.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් තුවාලයකට සාත්තු කරනවා. ඒ සාත්තු කරන්නේ මස් ලියලන්න විතරයි. ඒක මේ වගේ දෙයක්. බර ඇදගෙන යෑම පිණිස පමණයි කරත්ත රෝදයේ කඩ ඇණයට තෙල් දාන්නේ. පින්වත් මහණෙනි, ඔය විදියමයි, භික්ෂුව හොඳට නුවණින් විමසලා ආහාර ගන්නේ. ඒ කියන්නේ (මං මෙය වළඳන්නේ) ක්‍රීඩා පිණිස ඇඟ සවිමත් කරගන්ට නොවේ. ඇඟ හදාගෙන හිතට ගන්න නෙවේ. අඩුතැන් පුරවා ගන්ට නොවේ. ඇඟ ලස්සනට හදාගන්ටත් නොවේ. මේ කයේ පැවැත්ම පිණිස විතරයි. යැපීම පිණිස විතරයි. කුසගිනි වෙහෙස නැසීම පිණිස විතරයි. බඹසරට අනුග්‍රහ පිණිස විතරයි. මේ විදිහට මං පැරණි බඩගිනි වේදනාවත් නැති කරනවා. අළුත් බඩගිනි වේදනාවක් උපදවන්නේ නෑ. මගේ ජීවිත යාත්‍රාවත් සිදු වන්නේය. නිවැරදි බවත් පහසු විහරණයත් තියෙනවා කියලා. පින්වත් මහණෙනි, වළඳන බොජුනෙහි අරුත් දැනගෙන ඉන්නේ ඔය විදිහටයි.

පින්වත් මහණෙනි, භික්ෂුව නිදිවරමින් භාවනාවෙන් ඉන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව දවල් දවසේ සක්මන් භාවනාවෙනුත්, වාඩිවෙලාත් නීවරණයන්ගෙන් සිත පිරිසිදු කර ගන්නවා. රෑ පළමු යාමයේදී සක්මන් භාවනාවෙනුත්, වාඩිවෙලාත් නීවරණයන්ගෙන් සිත පිරිසිදු කර ගන්නවා. රෑ මධ්‍යම යාමයේ දී දකුණු පැත්තට හැරිලා, පයෙන් පය මදක් මෑත් වෙන්න තබාගෙන සිහියෙන් යුතුව නුවණින් යුතුව අසවල් වේලාවට නැගිටිනවා යන කරුණ මෙනෙහි කොට සිංහ සෙය්‍යාවෙන් සැතපෙනවා. රෑ අන්තිම යාමයෙහි පාන්දරින් නැගිටලා සක්මන් භාවනාවෙනුත්, වාඩි වෙලාත් නීවරණයන්ගෙන් සිත පිරිසිදු කරනවා. පින්වත් මහණෙනි, නිදිවරමින් භාවනාවේ යෙදෙන්නේ ඔය විදිහටයි.

පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් සමන්විත වුණ භික්ෂුව මේ ජීවිතේදීම සැප සොම්නස් බහුලව වාසය කරනවා. ඒ වගේම ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස ඔහුට කරුණු සම්පූර්ණ වෙලා තියෙනවා.

සාදු! සාදු!! සාදු!!!

රථූපම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-19-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M