පින්වත් මහණෙනි, මෙය ඉස්සර සිදු වූ දෙයකි. ඉදිබුවෙක් සවස් කාලයේ ගොදුරු සොයමින් ගං ඉවුරක අසබඩ සිටියා. පින්වත් මහණෙනි, එතකොට සිවලෙකුත් සවස් වේලෙහි ගොදුරු සොයමින් ඒ ගං ඉවුරු අසබඩ ඇවිද්දා. පින්වත් මහණෙනි, ඉදිබුවා ගොදුරු සොයාගෙන ඇවිදින සිවලාව දුර තියාම දැක්කා. දැකලා හිස පස්වෙනි කොට තිබෙන තමන්ගේ අවයවයන් ඉබි කටුව තුළට හකුළුවාගෙන උත්සාහ රහිත වෙලා, නිශ්ශබ්දව වගක් නැතුව හිටියා. පින්වත් මහණෙනි, සිවලාත් දුර තියාම ඉදිබුවා දැකලා, ඉදිබුවා සිටි තැනට පැමිණුනා. පැමිණිලා ‘මේ ඉදිබුවා යම් වෙලාවක හිස පස්වෙනි කොට ඇති අවයවයන්ගෙන් කොයි යම් ම අවයවයක් එළියට දාපුදෙන්කෝ, ඒ වෙලාවේම ඒක ඩැහැගෙන කඩාගෙන කන්නම්’ කියලා ඉදිබුවාට ළං වෙලා හිටියා. පින්වත් මහණෙනි, යම් කාලයක් ඉදිබුවා හිස පස්වෙනිකොට ඇති අවයවයන්ගෙන් කොයියම් ම අවයවයක්වත් එළියට නොදා හිටියා නම්, ඒ තාක්කල් සිවලා ඉදිබුවාගෙන් අවස්ථාවක් නො ලද නිසා කලකිරිලා ඉවත් වුණා.
පින්වත් මහණෙනි, ඔය විදියමයි. ඔබ ළඟටත් පවිටු මාරයා ඇවිදින් නිරතුරුව ම සමීපයෙන් ඉන්නවා. “හොඳයි කෝ, මේ උදවියගේ ඇසින් අවස්ථාවක් ලැබේවිනේ. එහෙම නැත්නම්, කනෙන්වත් අවස්ථාවක් ලැබේවිනේ. එක්කෝ නාසයෙන් හරි අවස්ථාවක් ලැබේවිනේ. එක්කෝ දිවෙන් හරි අවස්ථාවක් ලැබේවිනේ. එහෙම නැත්නම් කයෙන් හරි අවස්ථාවක් ලැබේවිනේ, එක්කෝ මනසින්වත් අවස්ථාවක් ලැබේවිනේ” කියලා.
ඒ නිසා පින්වත් මහණෙනි, ඉඳුරන් කෙලෙසුන්ගෙන් වළක්වා ගත් දොරටුවලින් යුක්තව ඉන්න. ඇසින් රූප දැක කෙලෙස් ඇතිවෙන නිමිති නොගෙන ඉන්න. කෙලෙස් ඇතිවෙන නිමිත්තක කොටසක්වත් නොගෙන ඉන්න. යම් හෙයකින් ඇස නැමැති ඉන්ද්රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයත්, දොම්නසත් පාපී අකුසලත් අති වී අර්බුදයක් හට ගන්නවා නම්, එසේ නොවීම පිණිස එහි සංවරය පිණිස පිළිපදින්න. ඇස රැක ගන්න. ඇස නැමැති ඉන්ද්රියයේ සංවරයට පැමිණෙන්න. කනෙන් ශබ්ද අහලා ….(පෙ)…. නාසයෙන් ගන්ධයක් ආඝ්රාණය කරලා ….(පෙ)…. දිවෙන් රසයක් රස විඳලා ….(පෙ)…. කයෙන් පහසක් ලබලා ….(පෙ)…. මනසින් අරමුණක් දැනගෙන කෙලෙස් ඇතිවෙන නිමිති නොගෙන ඉන්න. කෙලෙස් ඇතිවෙන නිමිත්තක කොටසක්වත් නොගෙන ඉන්න. යම් හෙයකින් මනස නැමැති ඉන්ද්රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයත්, දොම්නසත් පාපී අකුසලත් ඇති වී අර්බුදයක් හට ගන්නවා නම්, එසේ නොවීම පිණිස එහි සංවරය පිණිස පිළිපදින්න. මනස රැක ගන්න. මනස නැමැති ඉන්ද්රියයේ සංවරයට පැමිණෙන්න. පින්වත් මහණෙනි, යම්තාක් කල් ඔබ ඉඳුරන් කෙලෙසුන් ගෙන් වළක්වාගත් දොරටුවලින් යුක්තව ඉන්නවා නම්, එතකොට ඒ තාක්කල් ම පවිටු මාරයා හට අවස්ථාවක් නොලැබීමෙන් ඔබ කෙරෙහි කලකිරිලා බැහැරට යනවා. ඉදිබුවා කෙරෙහි කලකිරී බැහැරට ගිය සිවලා වගේ.
(ගාථාවකි)
තම කටුව තුළට අවයවයන් හකුළුවා ගන්නා ඉදිබුවෙක් වගේ, භික්ෂුව ලාමක මනෝ විතර්කයන් බැහැරකොට සිත තැන්පත් කර ගන්නවා. ඒ කිසිවක් හා ඇසුරක් පවත්වන්නේ නෑ. කිසිවෙකුට පීඩාවක් කරන්නේ නෑ. කාටවත් උපවාද නො කොට පිරිනිවන් පානවා.
සාදු! සාදු!! සාදු!!!
කුම්මෝපම සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-19-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M