ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ අයෝධ්‍යාවේ ගංගා නම් නදී තීරයේ. එදා භාග්‍යවතුන් වහන්සේ ගඟෙහි සැඩපහරට ගසා ගෙන යන විශාල දර කඳක් දැක වදාළා. දැකලා භික්ෂූන් අමතා වදාළා. “පින්වත් මහණෙනි, ඔබට පේනවාද ගඟ දියෙහි සැඩපහරින් අර මහා දර කඳක් ගසාගෙන යනවා” “එසේය ස්වාමීනී”
පින්වත් මහණෙනි, ඉතින් ඔය දර කඳ මෙතෙරට ගොඩ ගැසුවේ නැතිනම්, එතෙරට ගොඩ ගැසුවේ නැතිනම්, ගඟ මැද යටට බැස්සේත් නැතිනම්, ගඟ මැද ඇති පස් කඳුවල හිර වුණේත් නැතිනම්, මිනිසුන්ගේ ගැනීමක් වුණෙත් නැතිනම්, අමනුෂ්‍යයන්ගේ ගැනීමක් වුණේත් නැතිනම්, දිය සුළියකට අසු වුණෙත් නැතිනම්, ඇතුළ කුණුවෙලා ගඟේම දිරා ගියේත් නැතිනම්, පින්වත් මහණෙනි, එහෙම වුණොත් ඒ දරකඳ මහා සයුරට ම යි නැමෙන්නේ. මහා සයුරට ම යි නැඹුරු වෙන්නේ. මහා සයුරට ම යි බර වෙන්නේ. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, ගංගා නම් නදියෙහි සැඩ පහර මුහුදට නැමිලා තියෙන්නේ. මුහුදටයි නැඹුරු වෙලා තියෙන්නේ. මුහුදටයි බර වෙලා තියෙන්නේ.
පින්වත් මහණෙනි, ඔය විදිහට ම යි. ඉදින් ඔබ වුණත් මෙතෙරට ගොඩ ගැසුවේ නැතිනම්, එතෙරට ගොඩගසන්නේත් නැතිනම්, මැද්දෙහි කිඳා බහින්නේත් නැතිනම්, ගොඩබිමක ගිහින් වදින්නේත් නැතිනම්, මිනිසුන්ගේ ග්‍රහණයට හසුවෙන්නේත් නැතිනම්, නො මිනිසුන්ගේ ග්‍රහණයට හසුවෙන්නේත් නැතිනම්, දිය සුළියකට හසුවෙන්නේත් නැතිනම්, ඇතුළත කුණුවෙලා විනාශ වෙන්නේත් නැතිනම්, පින්වත් මහණෙනි, ඔය විදිහට ඔබ නිවනට නැමුණු අය බවට පත් වෙනවා. නිවනට ම නැඹුරු වෙනවා. නිවනට ම බර වෙනවා. එයට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, (චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධ ඤාණය වන) සම්මා දිට්ඨිය තියෙන්නේ නිවනට නැමිලයි. නිවනට නැඹුරු වෙලයි. නිවනට බර වෙලයි.
මෙසේ වදාළ විට එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ ගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, එතෙර කියන්නේ මොකක්ද? මෙතෙර කියන්නේ මොකක්ද? මැඳ කිඳා බහිනවා කියන්නේ මොකක්ද? කඳු ගැටයක හැප්පෙනවා කියන්නේ මොකක්ද? මිනිසුන් ගන්නවා කියන්නේ මොකක්ද? නොමිනිසුන් ගන්නවා කියන්නේ මොකක්ද? සුළියට අහුවෙනවා කියන්නේ මොකක්ද? ඇතුළත කුණු වෙනවා කියන්නේ මොකක්ද?”
“පින්වත් භික්ෂුව, මෙතෙර කියලා කිව්වේ මේ සය වැදෑරුම් ආධ්‍යාත්මික ආයතන හයට කියන නමක්. පින්වත් භික්ෂුව, එතෙර කියලා කිව්වේ මේ සය වැදෑරුම් බාහිර ආයතන හයට කියන නමක්. පින්වත් භික්ෂුව, මැද කිමිදෙනවා කියලා කිව්වේ මේ නන්දිරාගයට කියන නමක්. පින්වත් භික්ෂුව කඳු ගැටයේ හිරවෙනවා කියලා කිව්වේ මේ අස්මිමානයට කියන නමක්. පින්වත් භික්ෂුව, මිනිසුන්ගේ ග්‍රහණයට හසුවෙනවා කියන්නේ මොකක්ද? පින්වත් භික්ෂුව, මෙහිලා භික්ෂුව ගිහියන් එක්ක සමීපව එකතු වෙලා ඉන්නවා. ඔවුන් සමඟ සතුටු වෙනවා. ඔවුන් සමඟ ශෝක වෙනවා. සතුටු වන ගිහියන් අතර මෙයාත් සතුටු වෙනවා. දුක් වෙන ගිහියන් අතර මෙයාත් දුක් වෙනවා. එම ගිහියන්ගේ යම් යම් කළ යුතු දේවල් ඇති වුණු කල්හි, මෙයාගේ මහණකම පසෙක ලා ඒ කටයුතුවලට පනිනවා. පින්වත් භික්ෂුව, මිනිසුන්ගේ ග්‍රහණය කියලා කියන්නේ මේකටයි. පින්වත් භික්ෂුව, නොමිනිසුන්ගේ ග්‍රහණය කියලා කියන්නේ මොකක්ද? පින්වත් භික්ෂුව, මෙහිලා ඇතැම් භික්ෂුවක්, ‘මං මේ සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ එක්කෝ දෙවියෙක් වෙනවා. එක්කෝ වෙනත් දෙවියෙක් වෙනවා’ කියලා එක්තරා දෙව්ලොවක් පතාගෙන බඹසර හැසිරෙනවා. පින්වත් භික්ෂුව, මේකට කියන්නේ නොමිනිසුන්ගේ ග්‍රහණය කියලයි.
පින්වත් භික්ෂුව, සුළියට අහුවෙනවා කියලා කිව්වේ, මේ පංච කාම ගුණයන්ට කියන නමක්. පින්වත් භික්ෂුව, ඇතුළත කුණු වෙනවා කියන්නේ, මොකක්ද? පින්වත් භික්ෂුව, මෙහිලා ඇතැම් කෙනෙක් දුස්සීල වෙනවා. පවිටු ගතිගුණවලින් යුතු වෙනවා. අපවිත්‍ර වූ සැක සහිත වූ හැසිරීම්වලින් යුතු වෙනවා. රහසේ කරන අයහපත් දෙයින් යුතු වෙනවා. අශ්‍රමණයෙක්ව සිටියදී ම සිල්වත් ශ්‍රමණයෙක් විදිහට පෙනී සිටිනවා. අබ්‍රහ්මචාරීව සිටියදී ම, බ්‍රහ්මචාරී කෙනෙක් විදිහට පෙනී සිටිනවා. ඇතුළ කුණු වෙනවා. කෙලෙස් වෑහෙනවා. කෙලෙස් කහටින් සිටිනවා. පින්වත් භික්ෂුව, ඇතුළත කුණු වෙනවා කියන්නේ මේකටයි.”
ඒ වෙලාවේදී නන්ද නම් ගොපළු තරුණයෙක් භාග්‍යවතුන් වහන්සේට නොදුරින් (මෙම අසිරිමත් දෙසුමට සවන් දෙමින්) හිටගෙන හිටියා. එතකොට නන්ද ගොපල්ලා භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට කියා හිටියා. “ස්වාමීනී, මම නම් මෙතෙරට එන්නෙත් නෑ. එතෙරට යන්නෙත් නෑ. මැද කිමිදෙන්නෙත් නෑ. කඳු ගැටයක හිරවෙන්නෙත් නෑ. මිනිසුන්ගේ ග්‍රහණයට හසු වෙන්නෙත් නෑ. නොමිනිසුන්ගේ ග්‍රහණයට හසු වෙන්නෙත් නෑ. දිය සුළියට හසු වෙන්නෙත් නෑ ඇතුළත කුණුවුණ කෙනෙක් වෙන්නෙත් නෑ. ස්වාමීනී, මාත් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදි බව ලබනවා නම්, උපසම්පදාවත් ලබනවා නම්, ඉතා යහපත්.”
“පින්වත් නන්ද, එහෙම නම් ඔබ ගවයන් අයිතිකාරයන්ට ගිහිල්ලා දෙන්න.” “ස්වාමීනී, වසු පැටවුන්ට ගිජු වූ ඔය දෙන්නු පට්ටියට යාවි.” “පින්වත් නන්ද, ඔබ ම ගවයන් අයිතිකාරයන්ට ගිහිල්ලා දෙන්න.” එතකොට නන්ද ගොපල්ලා අයිතිකාරයින්ට ගවයන්ව භාර දුන්නා. භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළා. “ස්වාමීනී, අයිතිකාරයන්ට ගවයන් භාර දුන්නා. ස්වාමීනී, මාත් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදි බව ලබනවා නම්, උපසම්පදාවත් ලබනවා නම් ඉතා යහපති.”
ඉතින් නන්ද ගොපල්ලා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලබා ගත්තා. උපසම්පදාවත් ලබා ගත්තා. උපසම්පදාව ලබාගත් නොබෝ කලකින් ම ආයුෂ්මත් නන්දයන් හුදෙකලා වුණා. පිරිසෙන් වෙන් වුණා. අප්‍රමාදී වුණා. කෙලෙස් තවන වීරියෙන් යුතු වුණා. දහමට දිවි පුදා ධර්මයේ හැසිරෙන කොට නොබෝ කලකින් ම යම් කුල පුත්‍රයෝ යම් කිසි ලොව්තුරු අපේක්ෂාවකින් ගිහි ජීවිතය අත්හැරලා බුදු සසුනේ පැවිදි වුණා ද, අන්න ඒ උත්තරීතර බඹසර පූර්ණත්වය වන අමා මහ නිවන මේ ජීවිතයෙහිම විශේෂ ඤාණයකින් යුතුව අවබෝධ කරගෙන පැමිණ වාසය කළා. ‘ඉපදීම ක්ෂය වුණා, බඹසර වාසය සම්පූර්ණ කරගත්තා. නිවන පිණිස කළ යුතු දේ කර ගත්තා. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැතැ’යි අවබෝධ වුණා. ආයුෂ්මත් නන්ද තෙරුන් එක්තරා රහතන් වහන්සේ නමක් බවට පත්වුණා.
සාදු! සාදු!! සාදු!!!
දාරුක්ඛන්ධෝපම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-19-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M