සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.19.1. ආසිවිසෝපම සුත්තං

1.19.1. විෂ ඝෝර සර්පයන් උපමා කොට වදාළ දෙසුම

මා හට අසන්ට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා භික්ෂූන් අමතා වදාළා. “පින්වතුන් වහන්ස” කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙම දෙසුම වදාළා.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. භයානක විෂ තියෙන, (වහා කිපෙන) බලවත් තෙද ඇති, ඝෝරවිෂ ඇති සර්පයින් හතර දෙනෙක් ඉන්නවා. එතකොට ජීවත් වෙන්න කැමති, නොමැරෙනු කැමති, සැප කැමති, දුක් පිළිකුල් කරන පුරුෂයෙක් එනවා. ඔහුට මේ විදිහට කියනවා. “එම්බා පුරුෂය, මේ ඉන්නේ භයානක විෂ තියෙන, (වහා කිපෙන) බලවත් තෙද ඇති, ඝෝරවිෂ ඇති සර්පයන් හතර දෙනෙක්. මොවුන්ව කළින් කලට නැගිට්ටවන්ට ඕනෑ. කලින් කලට නාවන්ට ඕනෑ. කලින් කලට ආහාර පාන කවන්ට ඕනෑ. කලින් කලට නිදි කරවන්ට ඕනෑ. එම්බා පුරුෂය, හැබැයි යම් විටෙක භයානක විෂ තියෙන (වහා කිපෙන) බලවත් තෙද ඇති, ඝෝර විෂ ඇති මේ සර්පයන් හතර දෙනාගෙන් කවුරු කවුරුහරි කිපිලා දෂ්ට කළොත්, ඒ හේතුවෙන් එම්බා පුරුෂය, ඔබ එක්කෝ මරණයට පත් වේවි. එක්කෝ මාරාන්තික දුක් වේදනා විඳවාවි. එම්බා පුරුෂය, ඔබ විසින් කළ යුතු යමක් ඇත්නම් දැන් එය කරන එකයි තියෙන්නේ” කියලා.

එතකොට පින්වත් මහණෙනි, අර පුරුෂයා භයානක විෂ තියෙන, (වහා කිපෙන) බලවත් තෙද ඇති, ඝෝරවිෂ ඇති සර්පයන් හතරදෙනාට භය වුණා. යම් තැනක් ඇත්නම් එතැනට පලා ගියා. එතකොට ඔහුට මෙහෙම කියනවා. “එම්බා පුරුෂය, ඔබට සතුරු වූ මේ වධකයන් පස් දෙනා යම් තැනකදී ඔබව දකිනවා. ‘එතැන දී ම ජීවිතය විනාශ කරලා දානවා’ කියලා ඔබේ පිටුපසින් පන්න පන්නා එනවා. එම්බා පුරුෂය, ඔබ විසින් කළ යුතු යමක් ඇත්නම් දැන් එය කරන එකයි තියෙන්නේ” කියලා. එතකොට පින්වත් මහණෙනි, අර පුරුෂයා භයානක විෂ තියෙන, (වහා කිපෙන) බලවත් තෙද ඇති, ඝෝර විෂ ඇති සර්පයින් සතර දෙනාට භය වුණා. සතුරු වූ වධකයන් පස් දෙනාටත් භය වුණා. යම් තැනක් ඇත්නම් එතැනට පලා ගියා.

එතකොට ඔහුට මෙහෙම කියනවා. “එම්බා පුරුෂය, කඩුවක් අමෝරා ගත්තු, ඇතුළත හැසිරෙන හයවෙනි වධකයෙක් යම් තැනක දී ඔබව දකිනවා. ‘එතැන දී ම හිස කඳින් වෙන් කරනවා’ කියලා ඔබේ පිටුපසින් පන්න, පන්නා එනවා. එම්බා පුරුෂය, ඔබ විසින් කළ යුතු යමක් ඇත්නම් දැන් එය කරන එකයි තියෙන්නේ” කියලා. එතකොට පින්වත් මහණෙනි, අර පුරුෂයා භයානක විෂ තියෙන (වහා කිපෙන) බලවත් තෙද ඇති, ඝෝර විෂ ඇති සර්පයන් සතර දෙනාට භය වුණා. සතුරු වූ වධකයන් පස්දෙනාටත් භය වුණා. කඩුවක් අමෝරාගත්තු, ඇතුළත හැසිරෙන හයවෙනි වධකයාටත් භය වුණා. යම් තැනක් ඇත්නම් එතැනට පලා ගියා.

(පලා යද්දි) ඔහු හිස් ගමක් දැක්කා. ඕනෑම ගෙයකට පිවිසුණොත් පිවිසෙන්නේ කිසිවක් නැති ගෙයකට ම යි. පිවිසෙන්නේ තුච්ඡ ගෙයකට ම යි. පිවිසෙන්නේ හිස් ගෙයකට ම යි. (කෑම බීම තිබේදැයි බලන්නට) ඕනෑම භාජනයක් ඇල්ලුවොතින් අල්ලන්නේ කිසිවක් නැති භාජනයක් ම යි. අල්ලන්නේ තුච්ඡ භාජනයක් ම යි. අල්ලන්නේ හිස් භාජනයක් ම යි. එතකොට ඔහුට මෙහෙම කියනවා. “එම්බා පුරුෂය, මේ හිස් ගම දැන් ගම් පහරන හොරු ඇවිදින් විනාශ කරන්නටයි යන්නේ. එම්බා පුරුෂය, ඔබ විසින් කළ යුතු යමක් ඇත්නම් දැන් කරන එකයි තියෙන්නේ” කියලා.

ඉතින් පින්වත් මහණෙනි, ඒ පුරුෂයා භයානක විෂ තියෙන, (වහා කිපෙන) බලවත් තෙද ඇති, ඝෝර විෂ ඇති සර්පයන් හතරදෙනාට භය වුණා. සතුරු වූ වධකයන් පස්දෙනාටත් භය වුණා. කඩුවක් අමෝරාගත්තු, ඇතුළත හැසිරෙන හයවෙනි වධකයාටත් භය වුණා. ගම්පහරන සොරුන්ටත් භය වුණා. යම් තැනක් ඇත්නම් එතැනට පලා ගියා. එතකොට ඔහුට මහා ජලාශයක් දැකගන්ට ලැබුණා. මෙතෙර සැක සහිතයි. භය සහිතයි. එතෙර නම් බියෙන් නිදහස්. භය රහිතයි. නමුත් මෙතරින් එතෙරට යෑම පිණිස එතෙර මෙතෙර කරවන නැවක්වත්, පාලමක්වත් නෑ.

ඉතින් පින්වත් මහණෙනි, ඒ පුරුෂයාට මෙහෙම හිතෙනවා. ‘මේක මහා ජලාශයක්. මෙතෙරත් සැක සහිතයි. භය සහිතයි. එතෙර නම් භයෙන් නිදහස්. භය රහිතයි. එනමුදු මෙතරින් එතෙරට යෑම පිණිස, එතෙර මෙතෙර කරවන නැවක්වත්, පාලමක්වත් නෑ. එහෙම නම් මං තණ, දර, කොළ අතු ආදිය එකතු කරලා පහුරක් බැඳලා ඒ පහුර උපකාරයෙන් අත්වලිනුත්, පාවලිනුත්, වෑයම් කරමින් සුවසේ එතෙර වන එක තමයි හොඳ’ කියලා. ඉතින් පින්වත් මහණෙනි, ඒ පුරුෂයා තණ, දර, කොළ අතු, ආදිය එකතු කරලා පහුරක් බැඳලා ඒ පහුර උපකාරයෙන් අත්වලිනුත්, පාවලිනුත්, වෑයම් කරමින් සුවසේ එතෙර වුණා. ඔහුට තමයි ජලාශය තරණය කළ, එතෙරට ගිය, ගොඩබිම ඉන්න බ්‍රාහ්මණයා කියලා කියන්නේ.

පින්වත් මහණෙනි, මා විසින් මේ උපමාව කළේ අර්ථය පැහැදිළි කර දීම පිණිසයි. මෙහි අර්ථය මේකයි. භයානක විෂ තියෙන, (වහා කිපෙන) බලවත් තෙද ඇති, ඝෝර විෂ ඇති සර්පයින් හතරදෙනා කියලා කිව්වේ පින්වත් මහණෙනි, පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව යන මේ සතර මහා භූතයන්ට කියන නමක්.

පින්වත් මහණෙනි, වධකයන් පස්දෙනා කියලා කිව්වේ මේ පංච උපාදාන ස්කන්ධයන්ට කියන නමක්. ඒ කියන්නේ, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යන පහයි. පින්වත් මහණෙනි, කඩුවක් ඔසවා ගෙන ඇතුළත හැසිරෙන වධකයා කියලා කිව්වේ මේ නන්දිරාගයට (ආශ්වාදයෙන් ඇලීමට) කියන නමක්. පින්වත් මහණෙනි, හිස් ගමක් කියලා කිව්වේ (ඇස, කන, නාසය දිව, කය, මනස යන) ආධ්‍යාත්මික ආයතනවලට කියන නමක්.

පින්වත් මහණෙනි, ව්‍යක්ත වූ ප්‍රඥාසම්පන්න වූ නුවණැති කෙනා ඉදින් ඇස තුළිනුත් විමසා බලනවා නම්, කිසිවක් නැති දෙයක් හැටියට ම යි වැටහෙන්නේ. තුච්ඡ වූ දෙයක් හැටියට ම යි වැටහෙන්නේ. හිස් වූ දෙයක් හැටියට ම යි වැටහෙන්නේ. පින්වත් මහණෙනි, ඉදින් කන තුළිනුත්, ….(පෙ)…. පින්වත් මහණෙනි, ඉදින් නාසය තුළිනුත්, ….(පෙ)…. පින්වත් මහණෙනි, ඉදින් දිව තුළිනුත්, ….(පෙ)…. පින්වත් මහණෙනි, ඉදින් කය තුළිනුත්, ….(පෙ)…. පින්වත් මහණෙනි, ව්‍යක්ත වූ ප්‍රඥාසම්පන්න වූ නුවණැති කෙනා ඉදින් මනස තුළිනුත් විමසා බලනවා නම්, කිසිවක් නැති දෙයක් හැටියට ම යි වැටහෙන්නේ. තුච්ඡ වූ දෙයක් හැටියට ම යි වැටහෙන්නේ. හිස් වූ දෙයක් හැටියට ම යි වැටහෙන්නේ.

පින්වත් මහණෙනි, ගම්පහරන හොරුන් හයදෙනා කියලා කිව්වේ (රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු යන) බාහිර ආයතනවලට කියන නමක්. පින්වත් මහණෙනි, ඇස මනාප අමනාප රූපවලින් පීඩාවට පත් වෙනවා. කන මනාප අමනාප ශබ්දවලින් පීඩාවට පත් වෙනවා. නාසය මනාප අමනාප ගන්ධවලින් පීඩාවට පත් වෙනවා. දිව මනාප අමනාප රසවලින් පීඩාවට පත් වෙනවා. කය මනාප අමනාප පහසවලින් පීඩාවට පත් වෙනවා. මනස මනාප අමනාප අරමුණුවලින් පීඩාවට පත් වෙනවා.

පින්වත් මහණෙනි, මහා ජලාශය කියලා කිව්වේ මේ සැඩපහරවල් (ඕඝයන්) හතරට කියන නමක්. ඒ කියන්නේ කාමඕඝය, භවඕඝය, දිට්ඨිඕඝය, අවිජ්ජාඕඝය යන හතරයි. පින්වත් මහණෙනි, සැක සහිත වූ, භය සහිත වූ, මෙතෙර කියලා කිව්වේ මේ පංච උපාදානස්කන්ධයට කියන නමක්. පින්වත් මහණෙනි, භයෙන් නිදහස් වූ, භය රහිත වූ එතෙර කියලා කිව්වේ ඒ අමා නිවනට කියන නමක්. පින්වත් මහණෙනි, පහුර කියලා කිව්වේ ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන නමක්. ඒ කියන්නේ, සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මාආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අටයි. පින්වත් මහණෙනි, අත්වලින් පාවලින්, වීර්යය ගන්නවා කියලා කිව්වේ හැම මොහොතේ ම පවත්වන වීර්යයට කියන නමක්. පින්වත් මහණෙනි, ජලාශය තරණය කරලා, එතෙරට ගිහින් ගොඩ බිමේ ඉන්න බ්‍රාහ්මණයා කියලා කිව්වේ, මෙය රහතන් වහන්සේට කියන නමක්.

සාදු! සාදු!! සාදු!!!

ආසිවිසෝපම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-19-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M