ඒ දිනවල ආයුෂ්මත් ආනන්දයන් වහන්සේත්, ආයුෂ්මත් කාමභූ තෙරුන් වහන්සේත් වැඩසිටියේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ. එදා ආයුෂ්මත් කාමභූ තෙරුන් වහන්සේ සවස් කාලයේ භාවනාවෙන් නැගිටලා, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සමඟ සතුටු විය යුතු පිළිසඳර කතා බහේ යෙදිලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණු ආයුෂ්මත් කාමභූ තෙරුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා.
“කිම ප්රිය ආයුෂ්මත් ආනන්දයෙනි, ඇස තියෙන්නේ රූපවලට බැඳිලා ද? රූප තියෙන්නේ ඇසට බැඳිලා ද? ….(පෙ)…. ඒ වගේම දිව තියෙන්නේ රසයට බැඳිලා ද? රස තියෙන්නේ දිවට බැඳිලා ද? ….(පෙ)…. ඒ වගේම මනස තියෙන්නේ මනසට සිතෙන අරමුණුවලට බැඳිලා ද? මනසට සිතෙන අරමුණු තියෙන්නේ මනසට බැඳිලා ද?”
“ප්රිය ආයුෂ්මත් කාමභූ, ඇස රූපවලට බැඳිලා නැහැ. රූප ඇසට බැඳිලත් නැහැ. ඔය දෙක නිසා එතැන යම් ඡන්ද රාගයක් උපදිනවා නම් ඒක තමයි එතැන තියෙන බන්ධනය ….(පෙ)…. දිව රසයට බැඳිලා නැහැ. රස දිවට බැඳිලත් නැහැ. ….(පෙ)…. මනස, මනසට සිතෙන අරමුණුවලට බැඳිල නෑ. මනසට සිතෙන අරමුණු, මනසට බැඳිලත් නෑ. ඔය දෙක නිසා එතැන යම් ඡන්ද රාගයක් උපදිනවා නම් ඒක තමයි එතැන තියෙන බන්ධනය.
ප්රිය ආයුෂ්මතුනි, ඒක මේ වගේ දෙයක්. කළු ගොනෙකුයි, සුදු ගොනෙකුයි තනි කඹයකින් හරි, යොතකින් හරි ඈඳලා තියෙන විට, කෙනෙක් මේ විදිහට කියන්න පුළුවන්. ‘ඔය කළු ගොනා සුදු ගොනාට බැඳිලයි ඉන්නේ. එහෙම නැත්නම්, සුදු ගොනා කළු ගොනාට බැඳිලයි ඉන්නේ’ කියලා. එතකොට ඔහු ඒ කියන්නේ හරි දෙයක්ද?” “ප්රිය ආයුෂ්මතුනි, ඒක හරි දෙයක් නොවේ. ප්රිය ආයුෂ්මතුනි, කළු ගොනා සුදු ගොනාගේ බන්ධනය නොවේ. සුදු ගොනා කළු ගොනාගේ බන්ධනය නොවේ. නමුත් ඔවුන් දෙදෙනා යම් කඹයකින් හරි, යොතකින් හරි ඇඳලා තියෙනවා නම්, ඒක තමයි එතැන ඇති බන්ධනය.”
“ප්රිය ආයුෂ්මතුනි, ඔන්න ඔය විදියමයි. ඇස රූපවලට බැඳිලා නැහැ. රූප ඇසට බැඳිලත් නැහැ. ඔය දෙක නිසා එතැන යම් ඡන්ද රාගයක් උපදිනවා නම් ඒක තමයි එතැන තියෙන බන්ධනය ….(පෙ)…. දිව රසයට බැඳිලා නැහැ. ….(පෙ)…. මනස, මනසට සිතෙන අරමුණුවලට බැඳිල නෑ. මනසට සිතෙන අරමුණු, මනසට බැඳිලත් නෑ. ඔය දෙක නිසා එතැන යම් ඡන්ද රාගයක් උපදිනවා නම් ඒක තමයි එතැන තියෙන බන්ධනය.”
සාදු! සාදු!! සාදු!!!
කාමභූ සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-18-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M