ඒ දිනවල ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේත්, ආයුෂ්මත් මහා කොට්ඨිතයන් වහන්සේත් වැඩසිටියේ බරණැස් නුවර ඉසිපතන නම් වූ මුවන්ගේ අභය භූමියේ. එදා ආයුෂ්මත් මහා කොට්ඨිතයන් වහන්සේ සවස් කාලයේ භාවනාවෙන් නැගිටලා, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුණා. පැමිණිලා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සමඟ සතුටු විය යුතු පිළිසඳර කතාබහේ යෙදිලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් මහා කොට්ඨිතයන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා.
“කිම ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, ඇස තියෙන්නේ රූපවලට බැඳිලා ද? රූප තියෙන්නේ ඇසට බැඳිලා ද? ඒ වගේම කන තියෙන්නේ ශබ්දවලට බැඳිලා ද? ශබ්ද තියෙන්නේ කනට බැඳිලා ද? ඒ වගේම නාසය තියෙන්නේ ගඳ-සුවඳට බැඳිලා ද? ගඳ-සුවඳ තියෙන්නේ නාසයට බැඳිලා ද? ඒ වගේම දිව තියෙන්නේ රසයට බැඳිලා ද? රස තියෙන්නේ දිවට බැඳිලා ද? ඒ වගේම කය තියෙන්නේ පහසට බැඳිලා ද? පහස තියෙන්නේ කයට බැඳිලාද? ඒ වගේම මනස තියෙන්නේ මනසට සිතෙන අරමුණුවලට බැඳිලා ද? මනසට සිතෙන අරමුණු තියෙන්නේ මනසට බැඳිලා ද?”
“ප්‍රිය ආයුෂ්මත් කොට්ඨිත, ඇස රූපවලට බැඳිලා නැහැ. රූප ඇසට බැඳිලත් නැහැ. ඔය දෙක නිසා එතැන යම් ඡන්ද රාගයක් උපදිනවා නම් ඒක තමයි එතැන තියෙන බන්ධනය ….(පෙ)…. දිව රසයට බැඳිලා නැහැ. රස දිවට බැඳිලත් නැහැ. ඔය දෙක නිසා එතැන යම් ඡන්ද රාගයක් උපදිනවා නම් ඒක තමයි එතැන තියෙන බන්ධනය ….(පෙ)…. මනස, මනසට සිතෙන අරමුණුවලට බැඳිලා නෑ. මනසට සිතෙන අරමුණු, මනසට බැඳිලත් නෑ. ඔය දෙක නිසා එතැන යම් ඡන්ද රාගයක් උපදිනවා නම් ඒක තමයි එතැන ඇති බන්ධනය.
ප්‍රිය ආයුෂ්මතුනි, ඒක මේ වගේ දෙයක්. කළු ගොනෙකුයි, සුදු ගොනෙකුයි තනි කඹයකින් හරි, යොතකින් හරි ඈඳලා තියෙන විට, කෙනෙක් මේ විදිහට කියන්න පුළුවන්. ‘ඔය කළු ගොනා සුදු ගොනාට බැඳිලයි ඉන්නේ. එහෙම නැත්නම්, සුදු ගොනා කළු ගොනාට බැඳිලයි ඉන්නේ’ කියලා. එතකොට ඔහු ඒ කියන්නේ හරි දෙයක් ද?” “ප්‍රිය ආයුෂ්මතුනි, ඒක හරි දෙයක් නොවේ. ප්‍රිය ආයුෂ්මතුනි, කළු ගොනා සුදු ගොනාගේ බන්ධනය නොවේ. සුදු ගොනා කළු ගොනාගේ බන්ධනය නොවේ. නමුත් ඔවුන් දෙදෙනා යම් කඹයකින් හරි, යොතකින් හරි ඇඳලා තියෙනවා නම්, ඒක තමයි එතැන ඇති බන්ධනය.”
“ප්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඔය විදියමයි. ඇස රූපවලට බැඳිලා නැහැ. රූප ඇසට බැඳිලත් නැහැ. ඔය දෙක නිසා එතැන යම් ඡන්ද රාගයක් උපදිනවා නම් ඒක තමයි එතැන ඇති බන්ධනය ….(පෙ)…. දිව රසයට බැඳිලා නැහැ ….(පෙ)…. මනස, මනසට සිතෙන අරමුණුවලට බැඳිලා නෑ. මනසට සිතෙන අරමුණු, මනසට බැඳිලත් නෑ. ඔය දෙක නිසා එතැන යම් ඡන්ද රාගයක් උපදිනවා නම් ඒක තමයි එතැන ඇති බන්ධනය.
ප්‍රිය ආයුෂ්මතුනි, ඇස රූපවලට බැඳිලා ගියා නම්, රූපත් ඇසට බැඳිලා ගියා නම්, මනාකොට දුක් ගෙවීමක් පිණිස මේ බ්‍රහ්මචරිය වාසය (නිවන් මග) නම් දැකගන්ට ලැබෙන්නේ නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, යම් කරුණක් නිසා, ඇස රූපවලට බැඳිලා ගියේ නැද්ද, රූපත් ඇසට බැඳිලා ගියේ නැද්ද, නමුත් ඔය දෙක නිසා එතැන යම් ඡන්ද රාගයක් උපදිනවා නම්, ඒක එතැන තියෙන බන්ධනය බවට පත්වුණාද, අන්න ඒ නිසයි මනාකොට දුක් ගෙවීමක් පිණිස මේ බ්‍රහ්මචරිය වාසය දැකගන්ට ලැබෙන්නේ ….(පෙ)….
ප්‍රිය ආයුෂ්මතුනි, දිව රසට බැඳිලා ගියා නම්, රසත් දිවට බැඳිලා ගියා නම්, මනාකොට දුක් ගෙවීමක් පිණිස මේ බ්‍රහ්මචරිය වාසය (නිවන් මග) නම් දැකගන්ට ලැබෙන්නේ නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, යම් කරුණක් නිසා, දිව රසට බැඳිලා ගියේ නැද්ද, රසත් දිවට බැඳිලා ගියේ නැද්ද, නමුත් ඔය දෙක නිසා එතැන යම් ඡන්ද රාගයක් උපදිනවා නම්, ඒක එතැන තියෙන බන්ධනය බවට පත්වුණාද, අන්න ඒ නිසයි මනාකොට දුක් ගෙවීමක් පිණිස මේ බ්‍රහ්මචරිය වාසය දැකගන්ට ලැබෙන්නේ ….(පෙ)….
ප්‍රිය ආයුෂ්මතුනි, මනස, මනසට සිතෙන අරමුණුවලට බැඳිලා ගියා නම්, මනසට සිතෙන අරමුණුත්, මනසට බැඳිලා ගියා නම්, මනාකොට දුක් ගෙවීමක් පිණිස මේ බ්‍රහ්මචරිය වාසය (නිවන් මග) නම් දැකගන්ට ලැබෙන්නේ නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, යම් කරුණක් නිසා, මනස, මනසට සිතෙන අරමුණුවලට බැඳිලා ගියේ නැද්ද, මනසට සිතෙන අරමුණුත්, මනසට බැඳිලා ගියේ නැද්ද, නමුත් ඔය දෙක නිසා එතැන යම් ඡන්ද රාගයක් උපදිනවා නම්, ඒක එතැන තියෙන බන්ධනය බවට පත්වුණාද, අන්න ඒ නිසයි මනාකොට දුක් ගෙවීමක් පිණිස මේ බ්‍රහ්මචරිය වාසය දැක ගන්ට ලැබෙන්නේ.
ප්‍රිය ආයුෂ්මතුනි, ඔය කාරණය මේ දහම් ක්‍රමය තුළිනුත් දැන සිටිය යුතුයි. යම් අයුරකින් ඇස රූපයන්ට බැඳිලා ගියේ නැති බවත්, රූපත් ඇසට බැඳිලා ගියේ නැති බවත්, ඔය දෙක නිසා එතැනත් යම් ඡන්ද රාගයක් ඉපදුනා නම්, ඒකම එතැන බන්ධනය වූ බවත් ය ….(පෙ)…. දිව රසයන්ට බැඳිලා ගියේ නැති බවත් ….(පෙ)…. මනස අරමුණු වලට බැඳිලා ගියේ නැති බවත්, අරමුණුත් මනසට බැඳිලා ගියේ නැතිබවත්, ඔය දෙක නිසා එතැන යම් ඡන්ද රාගයක් ඉපදුනා නම්, ඒකම එතැන බන්ධනය වූ බවත් ය.
ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේට ඇස තියෙනවා ම යි. භාග්‍යවතුන් වහන්සේ ඇසින් රූප දකිනා සේක් ම යි. නමුත් භාග්‍යවතුන් වහන්සේට ඡන්දරාගය නැත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ කෙලෙසුන්ගෙන් මනාකොට මිදුණු සිත් ඇති සේක ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේට දිව තියෙනවා ම යි. භාග්‍යවතුන් වහන්සේ දිවෙන් රස විඳිනා සේක් ම යි. නමුත් භාග්‍යවතුන් වහන්සේට ඡන්දරාගය නැත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ කෙලෙසුන්ගෙන් මනාකොට මිදුණු සිත් ඇති සේක ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේට මනස තියෙනවා ම යි. භාග්‍යවතුන් වහන්සේ මනසින් අරමුණු සිතනා සේක් ම යි. නමුත් භාග්‍යවතුන් වහන්සේට ඡන්දරාගය නැත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ කෙලෙසුන්ගෙන් මනාකොට මිදුණු සිත් ඇති සේක.
ප්‍රිය ආයුෂ්මතුනි, මේ කාරණය ඔය දහම් ක්‍රමය තුළිනුත් දැන සිටිය යුතුයි. යම් අයුරකින් ඇස රූපයන්ට බැඳිලා ගියේ නැති බවත්, රූපත් ඇසට බැඳිලා ගියේ නැති බවත්, ඔය දෙක නිසා එතැන යම් ඡන්ද රාගයක් ඉපදුනා නම්, ඒකම එතැන බන්ධනය වූ බවත්ය ….(පෙ)…. දිව රසයන්ට බැඳිලා ගියේ නැති බවත් ….(පෙ)…. මනස අරමුණු වලට බැඳිලා ගියේ නැති බවත්, අරමුණුත් මනසට බැඳිලා ගියේ නැතිබවත්, ඔය දෙක නිසා එතැන යම් ඡන්ද රාගයක් ඉපදුනා නම්, ඒකම එතැන බන්ධනය වූ බවත්ය.”
සාදු! සාදු!! සාදු!!!
කොට්ඨිත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-18-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M