සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.18.7. උදායී සුත්තං

1.18.7. උදායි තෙරුන්ට වදාළ දෙසුම

ඒ දිනවල ආයුෂ්මත් ආනන්දයන් වහන්සේත්, ආයුෂ්මත් උදායි තෙරුන් වහන්සේත් වැඩසිටියේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ. එදා ආයුෂ්මත් උදායි තෙරුන් වහන්සේ සවස් කාලයේ භාවනාවෙන් නැගිටලා, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සමඟ සතුටු විය යුතු පිළිසඳර කතා බහේ යෙදිලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණු ආයුෂ්මත් උදායි තෙරුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා.

“ප්‍රිය ආයුෂ්මත් ආනන්දයෙනි, යම් සේ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මේ අයුරිනුත් මේ කය අනාත්මයි’ කියලා නොයෙක් ක්‍රමවලින් මේ කය ගැන වදාරලා තියෙනවා. තොරතුරු හෙළි කරලා තියෙනවා. කරුණු ප්‍රකාශ කරලා තියෙනවා. අන්න ඒ විදිහට ‘මේ අයුරිනුත් මේ විඤ්ඤාණය අනාත්මයි’ කියලා මේ විඤ්ඤාණය ගැනත් කියන්ට පුළුවන් ද? දේශනා කරන්ට පුළුවන් ද? පණවන්ට පුළුවන් ද? පිහිටුවන්ට පුළුවන් ද? හෙළිදරව් කරන්ට පුළුවන් ද? බෙදා දක්වන්ට පුළුවන්ද? මතු කොට පෙන්වන්ට පුළුවන්ද?”

“ප්‍රිය ආයුෂ්මත් උදායි, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මේ අයුරිනුත් මේ කය අනාත්මයි’ කියලා නොයෙක් ක්‍රම වලින් මේ කය ගැන වදාරලා තියෙන්නේ, තොරතුරු හෙළි කරලා තියෙන්නේ, කරුණු ප්‍රකාශ කරලා තියෙන්නේ යම් විදිහකට ද, අන්න ඒ විදිහට ‘මේ අයුරිනුත් මේ විඤ්ඤාණය අනාත්මයි’ කියලා මේ විඤ්ඤාණය ගැනත් කියන්ට පුළුවන්. දේශනා කරන්ට පුළුවන්. පණවන්ට පුළුවන්. පිහිටුවන්ට පුළුවන්. හෙළිදරව් කරන්ට පුළුවන්. බෙදා දක්වන්ට පුළුවන්. මතු කොට පෙන්වන්ට පුළුවන්.

ප්‍රිය ආයුෂ්මතුනි, ඇසත් රූපයත් නිසයි නේද ඇසේ විඤ්ඤාණය උපදින්නේ?” “එසේය ප්‍රිය ආයුෂ්මතුනි.” “ප්‍රිය ආයුෂ්මතුනි, ඇසේ විඤ්ඤාණය ඉපදීමට යම් හේතුවක් ඇත්ද, යම් ප්‍රත්‍යයක් ඇත්ද, ඒ හේතුවත්, ඒ ප්‍රත්‍යයත් සෑම අයුරකින් සියල්ල ම, සෑම තැනක ම සියල්ල ම ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා නම්, එතකොට ඇසේ විඤ්ඤාණය කියලා දෙයක් දැක ගන්ට ලැබෙනවාද?” “ප්‍රිය ආයුෂ්මතුනි, එය නොවේ ම යි.” “ප්‍රිය ආයුෂ්මතුනි, ඔය ක්‍රමයෙනුත් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මෙසේත් මේ විඤ්ඤාණය අනාත්මයි’ කියලා වදාරලා තියෙනවා. හෙළිදරව් කරලා තියෙනවා. කරුණු ප්‍රකාශ කරලා තියෙනවා ….(පෙ)….

ප්‍රිය ආයුෂ්මතුනි, දිවත් රසත් නිසයි නේද දිවේ විඤ්ඤාණය උපදින්නේ?” “එසේය ප්‍රිය ආයුෂ්මතුනි.” “ප්‍රිය ආයුෂ්මතුනි, දිවේ විඤ්ඤාණය ඉපදීමට යම් හේතුවක් ඇත්ද, යම් ප්‍රත්‍යයක් ඇත්ද, ඒ හේතුවත්, ඒ ප්‍රත්‍යයත් සෑම අයුරකින් සියල්ල ම, සෑම තැනක ම සියල්ල ම ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා නම්, එතකොට දිවේ විඤ්ඤාණය කියලා දෙයක් දැකගන්ට ලැබෙනවාද?” “ප්‍රිය ආයුෂ්මතුනි, එය නොවේ ම යි.” “ප්‍රිය ආයුෂ්මතුනි, ඔය ක්‍රමයෙනුත් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මෙසේත් මේ විඤ්ඤාණය අනාත්මයි’ කියලා වදාරලා තියෙනවා. හෙළිදරව් කරලා තියෙනවා. කරුණු ප්‍රකාශ කරලා තියෙනවා ….(පෙ)….

ප්‍රිය ආයුෂ්මතුනි, මනසත් අරමුණුත් නිසයි නේද මනසේ විඤ්ඤාණය උපදින්නේ?” “එසේය ප්‍රිය ආයුෂ්මතුනි.” “ප්‍රිය ආයුෂ්මතුනි, මනසේ විඤ්ඤාණය ඉපදීමට යම් හේතුවක් ඇත්ද, යම් ප්‍රත්‍යයක් ඇත්ද, ඒ හේතුවත්, ඒ ප්‍රත්‍යයත් සෑම අයුරකින් සියල්ල ම, සෑම තැනක ම සියල්ල ම ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා නම්, එතකොට මනසේ විඤ්ඤාණය කියලා දෙයක් දැකගන්ට ලැබෙනවාද?” “ප්‍රිය ආයුෂ්මතුනි, එය නොවේ ම යි.” “ප්‍රිය ආයුෂ්මතුනි, ඔය ක්‍රමයෙනුත් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මෙසේත් මේ විඤ්ඤාණය අනාත්මයි’ කියලා වදාරලා තියෙනවා. හෙළිදරව් කරලා තියෙනවා. කරුණු ප්‍රකාශ කරලා තියෙනවා ….(පෙ)….

ප්‍රිය ආයුෂ්මතුනි, ඒක මේ වගේ දෙයක්. අරටුවකින් ප්‍රයෝජනය ඇති පුරුෂයෙක් ඉන්නවා. ඔහු අරටුවක් සොයමින්, අරටුවක් ගැන විමසමින්, ඇවිදගෙන යද්දි තියුණු කෙටේරියක් අරගෙන වනයට පිවිසෙනවා. ඔහු එතැන දී හොඳට කෙළින් තියෙන, නො පීදුන, මහත කෙහෙල් කඳක් දකිනවා. ඉතින් ඔහු ඒකේ මුලින් කපනවා. මුලින් කපලා අගත් කපනවා. අගින් කපලා පත්වැටි ගලවනවා. ඔහු එතැනදී එලයවත් ලබාගන්නේ නෑ. අරටුවක් කොහෙන් ලැබෙන්ටද?

ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහමයි. භික්ෂුව ස්පර්ශ ආයතන හය තුළ ආත්මය කියලා දෙයක්වත්, ආත්මයට අයිතියි කියලා දෙයක්වත් දකින්නේ නෑ. ඒ අයුරින් ඔහු නොදකින විට, ලෝකයෙහි කිසිවකට බැඳෙන්නේ නෑ. නොබැඳී සිටින විට තැති ගන්නේ නෑ. තැති නොගන්නා විට තමා තුළ ම පිරිනිවී යනවා. ‘ඉපදීම ක්ෂය වුණා, බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන පිණිස කළ යුත්ත කළා. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැතැ’යි අවබෝධයෙන් ම දැන ගන්නවා.”

සාදු! සාදු!! සාදු!!!

උදායී සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-18-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M