සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.18.2. දුතිය සමුද්ද සුත්තං

1.18.2. මහා සයුර ගැන වදාළ දෙවෙනි දෙසුම

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘතග්ජනයා ‘මහා සයුර, මහා සයුර’ කියලා කියනවා. නමුත් පින්වත් මහණෙනි, ආර්ය විනයෙහි ‘මහා සයුර’ කියලා කියන්නේ ඒකට නොවෙයි. ඒක පින්වත් මහණෙනි, මහා වතුර ගොඩක් විතරයි. මහා ජල කඳක් විතරයි, පින්වත් මහණෙනි, ඇසෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා රූප තියෙනවා. ආර්ය විනයෙහි ‘මහා සයුර’ කියන්නේ මෙයටයි.

ඕක තුළ තමයි දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකයා, දෙවි මිනිස් ප්‍රජාව බොහෝ සෙයින්ම ඇමිණිලා ඉන්නේ. අවුල් ජාලාවක් කරගෙන ඉන්නේ. අවුල්වලින් කූඩු හදාගෙන ඉන්නේ. මුඤ්ජ තණ, බබුස් තණ වගේ වෙලා තියෙන්නේ. අන්තිමේදී විනිපාත නම් වූ දුගතිය නම් වූ අපා භයෙන් යුතු සංසාරය ඉක්මවා ගන්ට බැරිව ඉන්නවා.

පින්වත් මහණෙනි, කනෙන් දැනගත යුතු වූ ශබ්ද තියෙනවා ….(පෙ)…. පින්වත් මහණෙනි, නාසයෙන් දැනගත යුතු වූ ගන්ධ තියෙනවා ….(පෙ)…. පින්වත් මහණෙනි, දිවෙන් දැනගත යුතු වූ රස තියෙනවා ….(පෙ)…. පින්වත් මහණෙනි, කයෙන් දැනගත යුතු වූ පහස තියෙනවා ….(පෙ)…. පින්වත් මහණෙනි, මනසින් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා අරමුණු තියෙනවා. ආර්ය විනයෙහි ‘මහා සයුර’ කියන්නේ මෙයටයි. ඕක තුළ තමයි දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකයා, දෙවි මිනිස් ප්‍රජාව බොහෝ සෙයින්ම ඇමිණිලා ඉන්නේ. අවුල් ජාලාවක් කරගෙන ඉන්නේ. අවුල්වලින් කූඩු හදාගෙන ඉන්නේ. මුඤ්ජ තණ, බබුස් තණ වගේ වෙලා තියෙන්නේ. අන්තිමේදී විනිපාත නම් වූ දුගතිය නම් වූ අපා භයෙන් යුතු සංසාරය ඉක්මවා ගන්ට බැරිව ඉන්නවා.

(ගාථාවන් ය)

යමෙකු විසින් රාගයත්, ද්වේෂයත්, අවිද්‍යාවත්, දුරු කළා නම්, ඔහු තමයි චණ්ඩ මත්ස්‍යයින් ඉන්න, රකුසන් ඉන්න, සුළි තියෙන තරණය කරන්නට දුෂ්කර වූ මේ සයුර තරණය කළේ.

කෙලෙස් සංගයන් ඉක්මවා ගිය, මාරයාව අත්හළ, කෙලෙස් සහිත කර්ම රහිත, ඒ රහත් භික්ෂුව යළි ඉපදීමක් නොවනු පිණිසමයි දුක දුරු කළේ. අමා නිවන සාක්ෂාත් කළ ඒ රහත් භික්ෂුව මැනීමකට ඇතුළත් වෙන්නේ නෑ. (ඒ රහත් භික්ෂුව) මරණයෙහි රජු වන මාරයාව මුළා කළා කියලයි මා කියන්නේ.

සාදු! සාදු!! සාදු!!!

දුතිය සමුද්ද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-18-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M