සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.16.7. කොට්ඨිත අනිච්ච සුත්තං

1.16.7. කොට්ඨිත තෙරුන්ට අනිත්‍ය ගැන වදාළ දෙසුම

එදා ආයුෂ්මත් කොට්ඨිත තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණු ආයුෂ්මත් කොට්ඨිත තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මා හට සංක්ෂේපයෙන් ශ්‍රී සද්ධර්මය වදාරණ සේක් නම් මැනවි. එතකොට මට භාග්‍යවතුන් වහන්සේගෙන් යම් ධර්මයක් අසා දැනගෙන හුදෙකලා වෙලා, පිරිසෙන් වෙන් වෙලා, අප්‍රමාදීව, කෙලෙස් තවන වීර්යය ඇතිව, දහමට දිවි පුදා වාසය කරන්න පුළුවනි.

“පින්වත් කොට්ඨිත, යමක් අනිත්‍ය නම්, ඒ කෙරෙහි ඇති ඔබේ ආශාව අත්හළ යුතුයි. පින්වත් කොට්ඨිත, අනිත්‍ය දෙය යනු කුමක්ද? පින්වත් කොට්ඨිත ඇස අනිත්‍යයි, ඒ කෙරෙහි ඇති ඔබේ ආශාව අත්හළ යුතුයි. රූප අනිත්‍යයි. ඒ කෙරෙහි ඇති ඔබේ ආශාව අත්හළ යුතුයි. ඇසේ විඤ්ඤාණය අනිත්‍යයි, ඒ කෙරෙහි ඇති ඔබේ ආශාව අත්හළ යුතුයි. ඇසේ ස්පර්ශය අනිත්‍යයි, ඒ කෙරෙහි ඇති ඔබේ ආශාව අත්හළ යුතුයි. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්ද, එයත් අනිත්‍යයි. ඒ කෙරෙහි ඇති ඔබේ ආශාව අත්හළ යුතුයි.

කන ….(පෙ)…. නාසය ….(පෙ)…. දිව අනිත්‍යයි. ඒ කෙරෙහි ඇති ඔබේ ආශාව අත්හළ යුතුයි. රස අනිත්‍යයි, ඒ කෙරෙහි ඇති ඔබේ ආශාව අත්හළ යුතුයි. දිවේ විඤ්ඤාණය ….(පෙ)…. දිවේ ස්පර්ශය ….(පෙ)…. දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්ද, එයත් අනිත්‍යයි. ඒ කෙරෙහි ඇති ඔබේ ආශාව අත්හළ යුතුයි.

කය ….(පෙ)…. මනස අනිත්‍යයි. ඒ කෙරෙහි ඇති ඔබේ ආශාව අත්හළ යුතුයි. මනසට අරමුණු වන දේ අනිත්‍යයි ….(පෙ)…. මනෝ විඤ්ඤාණය අනිත්‍යයි ….(පෙ)…. මනසේ ස්පර්ශය අනිත්‍යයි ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්ද, එයත් අනිත්‍යයි. ඒ කෙරෙහි ඇති ඔබේ ආශාව අත්හළ යුතුයි. පින්වත් කොට්ඨිත, යමක් අනිත්‍ය නම්, ඒ කෙරෙහි ඇති ඔබේ ආශාව අත්හළ යුතුයි.

සාදු! සාදු!! සාදු!!!

කොට්ඨිත අනිච්ච සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-16-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M