සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.14.7. අජ්ඣත්ත අනිච්ච සුත්තං

1.14.7. තමා තුළ ඇති අනිත්‍ය බව ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, ඇස අනිත්‍යයි. ඇසේ ඉපදීමට හේතු වූ යමක් ඇත්ද, ප්‍රත්‍යය වූ යමක් ඇත්ද එයත් අනිත්‍යයි. ඉතින් පින්වත් මහණෙනි, අනිත්‍ය දෙයින් හටගත් ඇස කෙසේ නම් නිත්‍ය වන්ට ද? කන ….(පෙ)…. නාසය ….(පෙ)…. දිව අනිත්‍යයි. දිවේ ඉපදීමට හේතු වූ යමක් ඇත්ද, ප්‍රත්‍යය වූ යමක් ඇත්ද එයත් අනිත්‍යයි. ඉතින් පින්වත් මහණෙනි, අනිත්‍ය දෙයින් හටගත් දිව කෙසේ නම් නිත්‍ය වන්ටද? කය ….(පෙ)…. මනස අනිත්‍යයි. මනසේ ඉපදීමට හේතු වූ යමක් ඇත්ද, ප්‍රත්‍යය වූ යමක් ඇත්ද එයත් අනිත්‍යයි. ඉතින් පින්වත් මහණෙනි, අනිත්‍ය දෙයින් හටගත් මනස කෙසේ නම් නිත්‍ය වන්ටද?

පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට ඇස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කන ගැනත් ….(පෙ)…. නාසය ගැනත් ….(පෙ)…. දිව ගැනත් ….(පෙ)…. කය කෙරෙහිත් ….(පෙ)…. මනස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කලකිරුණු විට ඒ කෙරෙහි තිබුණ ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වූ බවට අවබෝධඤාණය ඇති වෙනවා. “ඉපදීම ක්ෂය වුණා, බඹසර වාසය සම්පූර්ණ කළා, නිවන පිණිස කළ යුතු දෙය කළා, නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම” යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.

සාදු! සාදු!! සාදු!!!

අජ්ඣත්තානිච්ච සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-14-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M