සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.14.3. සගය්හ සුත්තං

1.14.3. මැනැවින් ගැනීම ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, දෙවිමිනිසුන් ඉන්නේ රූපය තුළයි. රූපයට ඇලිලා, රූපයෙන් සතුටු වෙමිනුයි. පින්වත් මහණෙනි, රූප වෙනස් වීම කරණ කොටගෙන ඒ කෙරෙහි ඇති ඇල්ම දුරු කර ගැනීමටත්, නිරුද්ධ කර ගැනීමටත් සිදුවීමෙන්, දෙවිමිනිසුන් දුකසේ වාසය කරනවා. ශබ්දය තුළයි ….(පෙ)…. ගන්ධ තුළයි ….(පෙ)…. රස තුළයි ….(පෙ)…. පහස තුළයි ….(පෙ)…. පින්වත් මහණෙනි, දෙවිමිනිසුන් ඉන්නේ මනසට අරමුණු වන දේ තුළයි. මනසට අරමුණු වන දේට ඇලිලා, මනසට අරමුණු වන දෙයින් සතුටු වෙමිනුයි. පින්වත් මහණෙනි, මනසට අරමුණු වන දේ වෙනස් වීම කරණ කොටගෙන ඒ කෙරෙහි ඇති ඇල්ම දුරු කර ගැනීමටත්, නිරුද්ධ කර ගැනීමටත් සිදු වීමෙන්, දෙවිමිනිසුන් දුක සේ වාසය කරනවා.

පින්වත් මහණෙනි, තථාගත වූ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ රූපයන්ගේ හටගැනීමත්, නැතිවීමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත්, ඒ ආකාරයෙන් ම අවබෝධ කළ නිසා රූපය තුළ ඉන්නේ නෑ. රූපයට ඇලිලා ඉන්නේ නෑ, රූපයෙන් සතුටු වෙන්නේ නෑ. රූප වෙනස් වීමෙන් ඒ කෙරෙහි ඇති ඇල්ම දුරු වීමෙන්, නිරුද්ධ වීමෙන්, පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ සතුටින් වාසය කරනවා. ශබ්දයන්ගේ ….(පෙ)…. ගන්ධයන්ගේ ….(පෙ)…. රසයන්ගේ ….(පෙ)…. පහසේ ….(පෙ)…. මනසට අරමුණු වන දේ ගැන හටගැනීමත්, නැතිවීමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත්, ඒ ආකාරයෙන් ම අවබෝධ කළ නිසා මනසට අරමුණු වන දේ තුළ ඉන්නේ නෑ. මනසට අරමුණු වන දෙයට ඇලිලා ඉන්නේ නෑ, මනසට අරමුණු වන දෙයින් සතුටු වෙන්නේ නෑ. මනසට අරමුණු වන දේ වෙනස් වීමෙන් ඒ කෙරෙහි ඇති ඇල්ම දුරුවීමෙන්, නිරුද්ධ වීමෙන්, පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ සතුටින් වාසය කරනවා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි මෙය වදාළා.

(ගාථාවන් ය)

1. රූප, ශබ්ද, රස, ගන්ධ, පහස, මනසට අරමුණු වන දේ යන මේ තුළ තමයි යහපත්, ලස්සන, ප්‍රිය මනාප හැම දෙය ම තියෙනවා කියලා කියන්නේ.

2. දෙවියන් සහිත ලෝක සත්වයා විසින් ඔය දේවල් තමයි සැප වශයෙන් සම්මත කරගෙන ඉන්නේ. යම් තැනක ඔය දේවල් නිරුද්ධ වෙනවා නම්, ඔවුන් සම්මත කරගෙන ඉන්නේ ඒක දුකක් හැටියටයි.

3. සක්කාය නම් වූ පංචඋපාදානස්කන්ධය නැතිවීමයි ආර්යයන් වහන්සේලා විසින් සැප හැටියට දකින්නේ. නමුත් මෙය සියලු ලෝසතුන් විසින් දකින්නේ විරුද්ධ දෙයක් හැටියටයි.

4. අනෙක් උදවිය සැප හැටියට යමක් කියනවා නම්, ආර්යයන් වහන්සේලා ඒ ගැන කියන්නේ දුක හැටියටයි. අනෙක් උදවිය දුක හැටියට යමක් කියනවා නම්, ආර්යයන් වහන්සේලා ඒ ගැන කියන්නේ සැප හැටියටයි.

5. අවබෝධ කරන්ට දුෂ්කර වූ ධර්මය දකින්න. අවිද්‍යාව තුළ ඉන්න උදවිය ඒ ගැන මුළා වෙලයි ඉන්නේ. අවිද්‍යාවෙන් වැසී ගිය යථාර්ථය නොදකින උදවියට තියෙන්නේ අඳුරු කළුවරක් විතරයි.

6. යථාර්ථය දකින සත්පුරුෂයන්ට නම් ආලෝකයක් විවෘත වුණා වගෙයි. ධර්මය තේරුම් ගන්ට අදක්ෂ, සත්තු වගේ ඉන්න උදවිය චතුරාර්ය සත්‍ය ධර්මය ළඟ තිබුණත් අවබෝධ කරගන්නේ නෑ.

7. භව රාගයෙන් පෙළි පෙළී ඉන්න, භව සැඩ පහරට ම අනුව ඇදීයන, මාරයාගේ තොණ්ඩුව තුළ ඉන්න, උදවිය විසින් නම් මේ ධර්මය අවබෝධ කරන එක ලේසි දෙයක් නොවෙයි.

8. යම් අමා නිවනක් දියුණු කළ ප්‍රඥාවෙන් දැක ආශ්‍රව රහිත වෙලා පිරිනිවන් පානවා නම්, ඒ අමා නිවන ගැන අවබෝධ කරන්ට සුදුසු වන්නේ ආර්යයන් වහන්සේලා හැර වෙන කවරෙක්ද?

සාදු! සාදු!! සාදු!!!

සගය්හ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-14-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M