සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.14.2. ඛණ සුත්තං

1.14.2. ක්ෂණය ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, ඔබට ලාභයක් ම යි. පින්වත් මහණෙනි, ඔබට ඉතා හොඳ ලාභයක් ම යි. ඔබට උතුම් නිවන් මගෙහි හැසිරෙන්ට ක්ෂණයක් (අති දුර්ලභ අවස්ථාවක්) ලැබිලා තියෙනවා. පින්වත් මහණෙනි, මං දැක්කා ස්පර්ශ ආයතන හය (ඡ ඵස්සායතනික) නමින් නිරයක්. ඒ නිරයේ ඇසින් යම් රූපයක් දකිනවා නම්, අයහපත් රූපයක් ම යි දකින්නේ. යහපත් රූපයක් නම් නොවේ. අකමැති රූපයක් ම යි දකින්නේ. කැමති රූපයක් නම් නොවේ. අමනාප රූපයක් ම යි දකින්නේ. මනාප රූපයක් නම් නොවේ. කනින් යම් ශබ්දයක් අසනවා නම් ….(පෙ)…. නාසයෙන් යම් ගන්ධයක් දැනගන්නවා නම් ….(පෙ)…. දිවෙන් යම් රසයක් විඳිනවා නම් ….(පෙ)…. කයෙන් යම් පහසක් විඳිනවා නම් ….(පෙ)…. මනසින් යම් අරමුණක් දැන ගන්නවා නම්, අයහපත් අරමුණක් ම යි දැන ගන්නේ. යහපත් අරමුණක් නම් නොවේ. අකමැති අරමුණක් ම යි දැන ගන්නේ. කැමති අරමුණක් නම් නොවේ. අමනාප අරමුණක් ම යි දැන ගන්නේ. මනාප අරමුණක් නම් නොවේ.

පින්වත් මහණෙනි, ඔබට ලාභයක් ම යි. පින්වත් මහණෙනි, ඔබට ඉතා හොඳ ලාභයක් ම යි. ඔබට උතුම් නිවන් මගෙහි හැසිරෙන්ට ක්ෂණයක් (නියම වෙලාවක්) ලැබිලා තියෙනවා. පින්වත් මහණෙනි, මං දැක්කා ස්පර්ශ ආයතන හය (ඡ ඵස්සායතනික) නමින් සුගතියක්. ඒ සුගතියේ ඇසින් යම් රූපයක් දකිනවා නම්, යහපත් රූපයක් ම යි දකින්නේ. අයහපත් රූපයක් නම් නොවේ. කැමැති රූපයක් ම යි දකින්නේ. අකැමති රූපයක් නම් නොවේ. මනාප රූපයක් ම යි දකින්නේ. අමනාප රූපයක් නම් නොවේ.

කනින් යම් ශබ්දයක් අසනවා නම් ….(පෙ)…. නාසයෙන් යම් ගන්ධයක් දැනගන්නවා නම් ….(පෙ)…. දිවෙන් යම් රසයක් විඳිනවා නම් ….(පෙ)…. කයෙන් යම් පහසක් විඳිනවා නම් ….(පෙ)…. මනසින් යම් අරමුණක් දැන ගන්නවා නම්, යහපත් අරමුණක් ම යි දැන ගන්නේ. අයහපත් අරමුණක් නම් නොවේ. කැමැති අරමුණක් ම යි දැන ගන්නේ. අකැමති අරමුණක් නම් නොවේ. මනාප අරමුණක් ම යි දැන ගන්නේ. අමනාප අරමුණක් නම් නොවේ. පින්වත් මහණෙනි, ඔබට ලාභයක් ම යි. පින්වත් මහණෙනි, ඔබට ඉතා හොඳ ලාභයක් ම යි. ඔබට උතුම් නිවන් මගෙහි හැසිරෙන්ට ක්ෂණයක් (අති දුර්ලභ අවස්ථාවක්) ලැබිලා තියෙනවා.

සාදු! සාදු!! සාදු!!!

ඛණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-14-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M