සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.14.4. ගය්හ සුත්තං

1.14.4. ගැනීම ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, දෙවිමිනිසුන් ඉන්නේ රූපය තුළයි. රූපයට ඇලිලා, රූපයෙන් සතුටු වෙමිනුයි. පින්වත් මහණෙනි, රූප වෙනස් වීම කරණ කොටගෙන ඒ කෙරෙහි ඇති ඇල්ම දුරු කර ගැනීමටත්, නිරුද්ධ කර ගැනීමටත් සිදු වීමෙන්, දෙවිමිනිසුන් දුක සේ වාසය කරනවා. ශබ්ද තුළයි ….(පෙ)…. ගන්ධ තුළයි ….(පෙ)…. රස තුළයි ….(පෙ)…. පහස තුළයි ….(පෙ)…. පින්වත් මහණෙනි, දෙවිමිනිසුන් ඉන්නේ මනසට අරමුණු වන දේ තුළයි. මනසට අරමුණු වන දේට ඇලිලා, මනසට අරමුණු වන දෙයින් සතුටු වෙමිනුයි. පින්වත් මහණෙනි, මනසට අරමුණු වන දේ වෙනස් වීම කරණ කොටගෙන ඒ කෙරෙහි ඇති ඇල්ම දුරු කර ගැනීමටත්, නිරුද්ධ කර ගැනීමටත් සිදු වීමෙන්, දෙවිමිනිසුන් දුක සේ වාසය කරනවා.

පින්වත් මහණෙනි, තථාගත වූ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ රූපයන්ගේ හටගැනීමත්, නැතිවීමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත්, ඒ ආකාරයෙන් ම අවබෝධ කළ නිසා රූපය තුළ ඉන්නේ නෑ. රූපයට ඇලිලා ඉන්නේ නෑ, රූපයෙන් සතුටු වෙන්නේ නෑ. රූප වෙනස් වීමෙන් ඒ කෙරෙහි ඇති ඇල්ම දුරුවීමෙන්, නිරුද්ධ වීමෙන්, පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ සතුටින් වාසය කරනවා. ශබ්දයන්ගේ ….(පෙ)…. ගන්ධයන්ගේ ….(පෙ)…. රසයන්ගේ ….(පෙ)…. පහසේ ….(පෙ)…. මනසට අරමුණු වන දේ ගැන හටගැනීමත්, නැතිවීමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත්, ඒ ආකාරයෙන් ම අවබෝධ කළ නිසා මනසට අරමුණු වන දේ තුළ ඉන්නේ නෑ. මනසට අරමුණු වන දෙයට ඇලිලා ඉන්නේ නෑ, මනසට අරමුණු වන දෙයින් සතුටු වෙන්නේ නෑ. මනසට අරමුණු වන දේ වෙනස් වීමෙන් ඒ කෙරෙහි ඇති ඇල්ම දුරුවීමෙන්, නිරුද්ධ වීමෙන්, පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ සතුටින් වාසය කරනවා.

සාදු! සාදු!! සාදු!!!

ගය්හ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-14-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M