ඒ දිනවල ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා එක්තරා භික්ෂුවක් ආයුෂ්මත් සාරිපුත්තයන් ළඟට පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සමඟ සතුටු විය යුතු පිළිසඳර කතාබහේ යෙදිලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙකරුණ සැල කළා. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, සද්ධිවිහාරික (සැරියුත් තෙරුන් වැඩසිටි එක වෙහෙරෙහි සිටි) භික්ෂුවක් ශික්ෂාව ප්‍රතික්ෂේප කරලා ළාමක ගිහි පවට පත් වෙලා තියෙනවා.
ප්‍රිය ආයුෂ්මතුනි, ඕක ඔහොම තමයි. ඇස්, කන් ආදී ඉන්ද්රියයන් අකුසලයෙන් නොවැළැක්වූ දොරටු තියෙන කෙනාට, ගන්නා බොජුනෙහි අර්ථය නොදන්න කෙනාට, නිදිවරමින් භාවනා නොකරන කෙනාට ඕක තමයි වෙන්නේ.
ප්‍රිය ආයුෂ්මතුනි, ඇස් කන් ආදී ඉන්ද්රියයන් අකුසලයෙන් නො වැළැක්වූ දොරටු තියෙන, ගන්නා බොජුනෙහි අර්ථය නොදන්න, නිදිවරමින් භාවනා නොකරන ඒ භික්ෂුව ජීවිතාන්තය දක්වා පිරිපුන්, පිරිසිදු බඹසර ඒකාන්තයෙන් ම නොසිඳ රකිනවා කියන කරුණ සිදු වෙන දෙයක් නම් නොවෙයි. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, ඇස් කන් ආදී ඉන්ද්රියයන් අකුසලයෙන් වැළැක්වූ දොරටු තියෙන, ගන්නා බොජුනෙහි අර්ථය දන්න, නිදිවරමින් භාවනා කරන ඒ භික්ෂුව ජීවිතාන්තය දක්වා පිරිපුන්, පිරිසිදු බඹසර ඒකාන්තයෙන් ම නොසිඳ රකිනවා කියන කරුණ සිදු වෙන දෙයක් ම යි.
ප්‍රිය ආයුෂ්මතුනි, අකුසලයෙන් වැළැක්වූ දොරටු ඇති ඉන්ද්රියයන් තුළ ඉන්නේ කොහොමද? ප්‍රිය ආයුෂ්මතුනි, මෙහිලා භික්ෂුව ඇසින් රූප දැක කෙලෙස් ඇතිවෙන නිමිති ගන්නේ නෑ. කෙලෙස් ඇතිවෙන නිමිත්තක කොටසක්වත් ගන්නේ නෑ. යම් හෙයකින් ඇස නැමැති ඉන්ද්රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයත් දොම්නසත් පාපී අකුසලත් ඇති වී අර්බුදයක් හට ගන්නවා නම්, එසේ නොවීම පිණිස එහි සංවර පිණිස පිළිපදිනවා. ඇස රැක ගන්නවා. ඇස නැමැති ඉන්ද්රියයේ සංවරයට පැමිණෙනවා. කනෙන් ශබ්ද අහලා ….(පෙ)…. නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කරලා ….(පෙ)…. දිවෙන් රසයක් විඳලා ….(පෙ)…. කයෙන් පහසක් ලබලා ….(පෙ)…. මනසින් අරමුණක් දැනගෙන කෙලෙස් ඇතිවෙන නිමිති ගන්නේ නෑ. කෙලෙස් ඇතිවෙන නිමිත්තක කොටසක්වත් ගන්නේ නෑ. යම් හෙයකින් මනස නැමැති ඉන්ද්රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයත් දොම්නසත් පාපී අකුසලත් ඇති වී අර්බුදයක් හටගන්නවා නම්, එසේ නොවීම පිණිස එහි සංවර පිණිස පිළිපදිනවා. මනස රැක ගන්නවා. මනස නැමැති ඉන්ද්රියයේ සංවරයට පැමිණෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, අකුසලයෙන් වැළැක්වූ දොරටු ඇති ඉන්ද්රියයන් තුළ ඉන්නේ ඔය විදිහටයි.
ප්‍රිය ආයුෂ්මතුනි, වළඳන බොජුනෙහි අර්ථය දන්නේ කොහොමද? ප්‍රිය ආයුෂ්මතුනි, මෙහිලා භික්ෂුව හොඳට නුවණින් විමසලයි ආහාර ගන්නේ. ඒ කියන්නේ (මං මෙය වළඳන්නේ) ක්‍රීඩා පිණිස ඇඟ සවිමත් කරගන්න නොවේ, ඇඟ හදාගෙන හිතට ගන්න නොවේ, අඩුතැන් පුරවා ගන්න නොවේ, ඇඟ ලස්සනට හදා ගන්නත් නොවේ, මේ කයේ පැවැත්ම පිණිස විතරයි. යැපීම පිණිස විතරයි. කුසගිනි වෙහෙස නැසීම පිණිස විතරයි, බඹසරට අනුග්‍රහ පිණිස විතරයි, මේ විදිහට මං පැරණි බඩගිනි වේදනාවත් නැති කරනවා. අළුත් බඩගිනි වේදනාවක් උපදවන්නේ නෑ. මගේ ජීවිත යාත්‍රාවත් සිදු වන්නේය. නිවැරදි බවත් පහසු විහරණයත් තියෙනවා කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, වළඳන බොජුනෙහි අරුත් දැනගෙන ඉන්නේ ඔය විදිහටයි.
ප්‍රිය ආයුෂ්මතුනි, නිදිවරමින් භාවනාවේ යෙදෙන්නේ කොහොමද? ප්‍රිය ආයුෂ්මතුනි, මෙහිලා භික්ෂුව දවල් දවසේ සක්මන් භාවනාවෙනුත්, වාඩි වෙලත්, නීවරණයන්ගෙන් සිත පිරිසිදු කරනවා. රෑ පළමු යාමයේදී සක්මන් භාවනාවෙනුත්, වාඩි වෙලත්, නීවරණයන්ගෙන් සිත පිරිසිදු කරනවා. රෑ මධ්‍යම යාමයේදී දකුණු පැත්තට හැරිලා, පයෙන් පය මදක් මෑත් වෙන්න තබා ගෙන සිහියෙන් යුතුව, නුවණින් යුතුව අසවල් වේලාවට නැගිටිනවා යන කරුණ මෙනෙහි කොට සිංහ සෙය්යාවෙන් සැතපෙනවා. රෑ අන්තිම යාමයේ පාන්දරින් නැගිටලා සක්මන් භාවනාවෙනුත්, වාඩි වෙලත්, නීවරණයන්ගෙන් සිත පිරිසිදු කරනවා. ප්‍රිය ආයුෂ්මතුනි, නිදිවරමින් භාවනාවේ යෙදෙන්නේ ඔය විදිහටයි.
ඒ නිසා ප්‍රිය ආයුෂ්මතුනි, හික්මිය යුත්තේ මේ විදිහටයි. “අකුසලයෙන් වැළැක්වූ දොරටු ඇති ඉන්ද්රියයන් තුළයි අපි ඉන්නේ. බොජුනෙහි අරුත් දැනගෙනයි අපි වළඳන්නේ. නිදිවරමිනුයි අපි භාවනාවේ යෙදෙන්නේ” කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහට ම යි හික්මිය යුත්තේ.
සාදු! සාදු!! සාදු!!!
සාරිපුත්තසද්ධිවිහාරික සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-12-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M