සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.12.6. පඤ්චසිඛපඤ්හ සුත්තං

1.12.6. පඤ්චසිඛගේ ප්‍රශ්නයකට වදාළ දෙසුම

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයේ. එදා පඤ්චසිඛ ගාන්ධර්ව පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව සිට ගත්තා. එකත්පස්ව සිට ගත් පඤ්චසිඛ ගාන්ධර්ව පුත්‍රයා, භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. ස්වාමීනී, මෙහි ඇතැම් සත්වයෙක් මේ ජීවිතේදී ම පිරිනිවන් පාන්නේ නැතිනම් එයට හේතුව මොකක්ද? ප්‍රත්‍යය මොකක්ද? ස්වාමීනී, මෙහි ඇතැම් සත්වයෙක් මේ ජීවිතේදී ම පිරිනිවන් පානවා නම්, එයට හේතුව මොකක්ද? ප්‍රත්‍යය මොකක්ද?

පින්වත් පඤ්චසිඛ, ඇසෙන් දැනගත යුතු වූ රූප ….(පෙ)…. (කළින් දෙසුම පරිද්දෙන් විස්තර කළ යුතුයි) පින්වත් පඤ්චසිඛ, මනසින් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා, අරමුණු තියෙනවා. භික්ෂුව එය සතුටින් පිළිගන්නවා. එහි ගුණ කියනවා. එහි බැසගෙන සිටිනවා. එතකොට එය සතුටින් පිළිගන්නා, එහි ගුණ කියන, එහි බැසගෙන සිටින ඔහුගේ විඤ්ඤාණය ඒ අරමුණ ඇසුරු කරගෙන ම යි තියෙන්නේ. එයට ග්‍රහණය වෙලයි තියෙන්නේ. පින්වත් පඤ්චසිඛ, කෙලෙසුන්ට ග්‍රහණය වූ භික්ෂුව පිරිනිවන් පාන්නේ නෑ. පින්වත් පඤ්චසිඛ, මෙහි ඇතැම් සත්වයෙක් මේ ජීවිතයේදී ම පිරිනිවන් පාන්නේ නැතිනම් එයට හේතුව මේකයි. ප්‍රත්‍යය මේකයි.

පින්වත් පඤ්චසිඛ, ඇසෙන් දැනගත යුතු වූ රූප ….(පෙ)…. පින්වත් පඤ්චසිඛ, මනසින් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා අරමුණු තියෙනවා. භික්ෂුව එය සතුටින් පිළිගන්නේ නෑ, එහි ගුණ කියන්නේ නෑ, එහි බැසගෙන සිටින්නේ නෑ, එතකොට එය සතුටින් නොපිළිගන්නා එහි ගුණ නොකියන, එහි නොබැසගෙන සිටින ඔහුගේ විඤ්ඤාණය ඒ අරමුණ ඇසුරු කරගෙන පවතින්නේ නෑ. එයට ග්‍රහණය වෙලා නෑ. පින්වත් පඤ්චසිඛ, කෙලෙසුන්ට ග්‍රහණය නොවූ භික්ෂුව පිරිනිවන් පානවා. පින්වත් පඤ්චසිඛ, මෙහි ඇතැම් සත්වයෙක්, මේ ජීවිතේදී ම පිරිනිවන් පානවා නම්, එයට හේතුව මේකයි. ප්‍රත්‍යය මේකයි.

සාදු! සාදු!! සාදු!!!

පඤ්චසිඛපඤ්හ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-12-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M