සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.12.8. රාහුලෝවාද සුත්තං

1.12.8. රාහුල තෙරුන්ට අවවාද වශයෙන් වදාළ දෙසුම

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා හුදෙකලාවේ විවේකයෙන් වැඩසිටි භාග්‍යවතුන් වහන්සේට මේ ආකාරයේ අදහසක් ඇති වුණා.

“පින්වත් රාහුලයන්ගේ අරහත්ඵල විමුක්තිය උදෙසා මේරිය යුතු දහම් මෝරලා තියෙනවා. ඒ නිසා මං රාහුලයන් තව දුරටත් ආශ්‍රවයන් ක්ෂය වී යන පරිදි හික්මවන එකයි හොඳ” කියලා.

ඉතින් භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පාසිවුරු ගෙන සැවැත් නුවරට පිඬු පිණිස වැඩම කළා. සැවැත් නුවර පිඬු පිණිස හැසිර, දන් වළඳා අවසන් කොට ආයුෂ්මත් රාහුලයන් අමතා වදාළා. “පින්වත් රාහුලයෙනි, නිසීදනය (වාඩිවීමට එලන ඇතිරිල්ල) ගන්න. දිවා විහරණය පිණිස අන්ධ වනයට යමු” එසේය ස්වාමීනී, කියලා ආයුෂ්මත් රාහුලයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දීලා නිසීදනයත් රැගෙන භාග්‍යවතුන් වහන්සේ පසුපසින් ගමන් කළා.

ඒ වෙලාවේදී නොයෙක් දහස් ගණන් දෙවිවරු “අද භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් රාහුලයන්ව තවදුරටත් ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස හික්මවා වදාරණ සේක” කියලා භාග්‍යවතුන් වහන්සේ අනුව පසුපසින් ගමන් කළා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අන්ධවනය ඇතුළට ම වැඩම කරලා එක්තරා රුක් සෙවණක පණවන ලද අසුනෙහි වැඩසිටියා. ආයුෂ්මත් රාහුලයන් ද භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩි වුණ ආයුෂ්මත් රාහුලයන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙය අසා වදාළා.

පින්වත් රාහුලයෙනි, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? ඇස නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහි අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය මේක මගේ, මේක තමයි මම, මේ තමයි මගේ ආත්මය වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත.

රූප නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි. ….(පෙ)…. ඇසේ විඤ්ඤාණය නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි ….(පෙ)…. ඇසේ ස්පර්ශය නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි ….(පෙ)…. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ, විඳීමට අයත් වූ, හඳුනාගැනීමකට අයත් වූ, සංස්කාරයකට අයත් වූ, විඤ්ඤාණයකට අයත් වූ යම් දෙයක් ඇත්ද, එයත් නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහි අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය මේක මගේ, මේක තමයි මම, මේ තමයි මගේ ආත්මය වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත.

කන ….(පෙ)…. නාසය ….(පෙ)…. දිව නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි ….(පෙ)…. රස ….(පෙ)…. දිවේ විඤ්ඤාණය ….(පෙ)…. දිවේ ස්පර්ශය …. (පෙ) …. දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ, විඳීමට අයත් වූ, හඳුනාගැනීමකට අයත් වූ, සංස්කාරයකට අයත් වූ, විඤ්ඤාණයකට අයත් වූ යම් දෙයක් ඇත්ද, එයත් නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහි අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය මේක මගේ, මේක තමයි මම, මේ තමයි මගේ ආත්මය වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත.

කය ….(පෙ)…. මනස නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහි අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය මේක මගේ, මේක තමයි මම, මේ තමයි මගේ ආත්මය වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත.

මනසට අරමුණු වන දේ නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි ….(පෙ)…. මනසේ විඤ්ඤාණය ….(පෙ)…. මනසේ ස්පර්ශය ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ, විඳීමට අයත් වූ, හඳුනාගැනීමකට අයත් වූ, සංස්කාරයකට අයත් වූ, විඤ්ඤාණයකට අයත් වූ යම් දෙයක් ඇත්ද, එයත් නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහි අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය මේක මගේ, මේක තමයි මම, මේ තමයි මගේ ආත්මය වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත.

පින්වත් රාහුලයෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට ඇස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. රූප ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. ඇසේ විඤ්ඤාණය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. ඇසේ ස්පර්ශය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ, විඳීමට අයත් වූ, හඳුනාගැනීමකට අයත් වූ, සංස්කාරයකට අයත් වූ, විඤ්ඤාණයකට අයත් වූ යම් දෙයක් ඇත්ද, ඒ ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කන ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා ….(පෙ)…. නාසය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා ….(පෙ)…. දිව ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. රස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. දිවේ විඤ්ඤාණය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. දිවේ ස්පර්ශය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ, විඳීමට අයත් වූ හඳුනාගැනීමකට අයත් වූ, සංස්කාරයකට අයත් වූ, විඤ්ඤාණයකට අයත් වූ යම් දෙයක් ඇත්ද, ඒ ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා ….(පෙ) …. මනස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. මනසට අරමුණු වන දේ ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. මනසේ විඤ්ඤාණය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. මනසේ ස්පර්ශය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ, විඳීමට අයත් වූ හඳුනාගැනීමකට අයත් වූ, සංස්කාරයකට අයත් වූ, විඤ්ඤාණයකට අයත් වූ යම් දෙයක් ඇත්ද, ඒ ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කලකිරුණු විට ඒ කෙරෙහි තිබුණ ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. නිදහස් වූ විට, නිදහස් වූ බවට අවබෝධ ඤාණය ඇති වෙනවා. ‘ඉපදීම ක්ෂය වුණා, බඹසර වාසය සම්පූර්ණ කළා, නිවන පිණිස කළ යුතු දෙය කළා, නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම’ යැයි අවබෝධයෙන් ම දැන ගන්නවා.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. සතුටු සිත් ඇති ආයුෂ්මත් රාහුලයන් භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙසුම සතුටින් පිළිගත්තා. මෙම දෙසුම වදාරණ කල්හි ආයුෂ්මත් රාහුලයන්ගේ සිත උපාදාන රහිතව කෙලෙසුන්ගෙන් නිදහස් වුණා.

නොයෙක් දහස් ගණන් දෙවිවරුන්ට ද ‘හේතුන්ගෙන් හටගන්නා වූ යම් දෙයක් ඇත්ද, ඒ සියල්ලම හේතු නැතිවීමෙන් නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි.’ කියලා කෙලෙස් රහිත වූ අවිද්‍යා මලකඩ රහිත වූ දහම් ඇස පහළ වුණා.

සාදු! සාදු!! සාදු!!!

රාහුලෝවාද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-12-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M